Saturday, July 30, 2011

සකල දේශවාසී සිංහල බ්ලොග්කරුවෙනි - අජිත් පී පෙරේරා එජාප නායකත්වයට පත්කිරීමට එක්වවු!

ක්සත් ජාතික පක්සයේ නායකකමට සුදුසු කවුද?රනිල්ද?සජිත්ද?නැතිනම් කරුද?තැන තැන මේ පුරස්නෙ ගැන තියෙන කසිලි බිසිලි කනු කුනු ගෑම් හින්ද පුලස්තිත් හිතුව මාතෘකාවට හොම්බ ඔබන්න.

එක්සත් ජාතික පක්සෙට මේ අලුතින් නායකයෙක් හොයන්නෙ මක්කෙයි සහුර්දයිනි?කවුරුත් දෙන උත්තරය = යූඇන්පිය පරදින නිසා.දැන් අවුරුදු ගානක් යූඇන්පිය විපක්සෙලු.විසේසයෙන් 2005 ට පස්සෙ යන එන මගක් නැති විදිහට විපක්සෙලු.පරාජෙට හේතුව - දුර්වල නායකත්වයලු.නායකයාට පෞරුෂයක් නැතිලු.සමහර මහත්තැන්ල සැර බාල කොරල කියන විදිහට නායකයට බුද්ධිය තියෙනවලු.ඒත් ඡන්දය දිනන්න පෞරුෂය නැතිලු.රනිල්ට පක්ස තවත් සමහර මහත්තැන් උන්නැහෙට බුද්ධිය තියෙන නිසා දිගටම නායකත්වය උන්නැහෙට තියෙන්න ඕනෙ කියල කියනවලු.

අතුරු පුරස්නය - නායකත්වය කියන්නෙ බුද්ධියට නං ඕකට බුද්ධික පතිරන හොද නැද්ද?නමිනුත් බුද්ධිය වෑස්සෙනවා.

අතුරු පුරස්නය ක්ලෝස්ඩ්.

දැන් යූඇන්පියට අලුත් නායකයෙක් ආවම මොකද වෙන්නෙ සහුර්දය?එජාපයට නව නායකයෙක් සර්ච් ‍කොරන හැමෝම මේකට දෙන උත්තරය තමයි - එහෙම උනොත් යූඇන්පිය දිනනව කියන එක.එතකොට අපි තවත් පුරස්නයකට යමු.ඒ විදිහට යූඇන්පිය දින්නට පස්සෙ මොකද වෙන්නෙ සහුර්දය?ඕක තමයි හොම්බ රිවර්ස් වෙන පුරස්නය.

1977 ට ඉස්සර - විසේසයෙන් අමෙරිකාවයි සෝවියට් දේසෙයි මරාගන්න කාලෙ - යූඇන්පියයි සිරි ලංකා එකයි අතර කියන්න තරම් වෙනස්කමක් තිබ්බ කියල පුලස්ති අහල තියෙනව.ඒත් දැන් තත්වෙ කොහොමෙයි?

පුලස්තිට තේරෙන විදිහට අද වෙනකොට මේ පක්ස දෙකේ වෙනස තියෙන්නෙ ඒවයෙ ලාංඡන වලයි පාටෙයි විතරයි.

යූඇන්පිය ඕපන් මාකට් ඉකොනොමිය ලංකාවට හදුන්වලා දුන්න.සිරි ලංකා එක ඒක යූඇන්පියටත් වඩා සාර්ථකව ඉස්සරහ ඇදගෙන යනව.යූඇන්පිය විධායක ජනාධිපතිකම ප්‍රමුඛ දේසපාලන සිස්ටම් එක ලංකාව හදුන්වලා දුන්න.සිරි ලංකා එක ඒකත් සෆාන් එකේ ඉස්සරහට ඇදගෙන යනව.

බලන්න හාත්පස මා සුමිතුර.කැසිනෝ කලාප,මිරිදිය ධීවර කර්මාන්තෙ කොරන වැව් උඩ දාන සී ප්ලේන් ප්‍රොජෙක්ට්,නිරුවත් වෙරල තීර,පෞද්ගලික විස්ස විද්දියාල,ඉඩම් හෝල් සේල් පිටරට කොම්පැනි වලට බදුදෙන විකුනන එක - මේ වගේ සීන් කිසිම විරෝධයක් නැතිව පටන්ගෙන ලංකාව ඕපන් මාකට් පැරඩයිස් එකක් බවට මේ ටිකේ මහින්ද මාමා පත්කොරගෙන යනව නේද?අම්මප බලන්න එපැයි අධිවේගී මාර්ගයේ ලස්සන!මිනිස්සුන්ට කන්ඩ අදින්ඩ නැති උනත් නය අරගෙන හතර අතේ හයි වේ නෙව!උතුරට කවදාවත් යාගන්න බැරි උන බිස්නස් මෑන්ස්ලා දැන් අත වන වන උතුරට යනව.ඒ යන පාර දිගට ඩයලොග් කොම්පැනියේ බෝඩ් හයි වෙලා තියෙනව.කොලඹ දැන් මැලේසියාවෙ වගේ බස් යනව.හිගන්නො පුලුන්නො පේව්මන්ට් කඩකාරයෝ රස්තියාදුකාරයෝ සේරම චකබ්ලාස් කොරල කොලඹ විදි දැන් දියුනු වානිජ නගරයක් වගේ දිදුලනවා.

කිසි ගින්නක් නැතිව මේ හොදට දුවන්නෙ ජේආර්ගෙ රනිල්ගෙ ඕපන් මාකට් ප්‍රොජක්ට් එක මිස වෙන මොකක්ද සහුර්දය?යූඇන්පිය මෙව්ව කොලා නම් බලන්න තිබ්බ ජහමනයාගේ විරෝධෙ.කැසිනෝ වීදි,පුද්ගලික විස්ස විද්දියාල - මේ වගේ වැඩ කෑලි යූඇන්පියට හීනෙන්වත් කොරගන්න ඇහැක් උනාද සහුර්දය?

දේසපාලනයේදී එතකොට මුන්නැහෙලාගේ තත්වය කොහොමෙයි?මහින්ද මාමා එක හිතින් එක පයින් විධායක ජනාධිපතිකමට පක්සයි.එතකොට යූඇන්පිය?රුපියල් හැට දෙදාස් පන්සීයක් ඔට්ටුයි උන්නැහෙලත් ඒ සිස්ටම් එකට මනාපයි.බලය නැති කාලෙ විධායක ජනාධිපතිකම හොද නැහැ කියල ඥං ඥුං නොගාන්නෙ කවුද?මහින්ද මාමා විපක්ස නායක කාලෙ ඔය ඥං ඥුං ගෑම යූඇන්පියටත් වඩා සද්දෙට කොලා නෙව.යූඇන්පියත් රාජ්‍ය මාධ්‍ය උලා කෑව.මහින්ද මාමාත් ඒක කොරනව.යූඇන්පිය සෝමපාලලාව මැරුව.මහින්ද මාමාගෙ ආන්ඩුව ‍රොසේන් චානුකව මැරුව.ජේආර් ප්‍රේමදාස විපක්සයට ඔලුව උස්සන්න දුන්නෙ නැහැ.මහින්ද මාමා - නෝ ඩිපරන්ස් ඇට් ඕල් ජෙන්ට්ල්මන් ඇන්ඩ් වුමෙන්.

එතකොට වංචාව දූසනය නැති දේසපාලනය?ඇත්තටම පක්ස දෙකක් උනාට ඔය දෙකේම ඉන්නෙ එක වර්ගයේ පොරවල්.සිරි ලංකා ආන්ඩුවක් තිබ්බත් යූඇන්පී ආන්ඩුවක් තිබුනත් ජොන්ස්ටන් ඇමති කෙනෙක්.රාජිත සේනාරත්න,බන්දුල ගුනවර්ධන,ජීඇල් පීරිස් - මේ කවුරු කවුරුත් හැමදාම ඇමතිලා.යූඇන්පිය තියෙද්දි ඒකෙ ඉදන් මගඩි කොරපු අබ්දුල් කාදර්ල,දුමින්ද සිල්වලා දැන් සිරි ලංකා එකේ.හෙට යූඇන්පියට බලය එන බව පෙනෙන කොට මේ වර්ගයේ බුවාස්ල ආයෙත් යූඇන්පී නැවට ගොඩ වෙන්න ආවොත් එන්ඩ එපා කියනවද ආයුබොවන්ඩ?පෙම් මල් මාලා දාලයි පිලිගන්නෙ!

පුලස්තිට නං ඇත්තටම යූඇන්පී සිරි ලංකා කියන්නෙ පක්ස දෙකකට වැඩිය එකම වර්ගයේ ගෙම්බො ලගින වතුර වලවල් දෙකක්.ඒකෙන් මේකටත්,මේකෙන් ඒකටත් කිසි හිරිකිතයක් නැතිව පනින්න කාට කාටත් ඇහැක් වෙලා තියෙන්නෙ ඒ වලවල් වල වතුර එක වගේ නිසා මිසක් වෙන මොකක් හින්දද සහුර්දයිනි?

එතකොට මේ කරුනු අපි සාරාංශගත කොරගමු.

මහින්ද මාමගෙ ප්‍රතිපත්තිය - ආර්ථිකය ලිබරල්.දේශපාලනය අම්බ දරදඩුයි.දූසිතයි.
යූඇන්පියේ ප්‍රතිපත්තිය - එමමයි.එමමයි.එසේමයි.

පුලස්ති අහන්නෙ මෙච්චරයි.යූඇන්පිය බලයට ආවොත් කොරන එක කිසි අවුලක් ගේමක් නැතිව හොදට සාර්ථකව මහින්ද මාමා කොරගෙන යනව නං අහවල් එකටද ආයෙත් යූඇන්පී ආන්ඩුවක් ගේන්නෙ?මොකක්ද ඒකෙන් සිද්ධ වෙන වෙනස?අවංක යූඇන්පී කාරයෙක් නං පුලස්තිට තේරෙන විදිහට උන්නැහෙගෙ කාර්යභාරය තමයි සජිත් රනිල් කරු වගේ මෙලෝ රහක් නැති දේවල් ගැන වාද විවාද කොර කොර ඉන්නවට වඩා තමුන්ගේ පක්සෙ ප්‍රතිපත්තිය තමුන්නෙ නායකයටත් වඩා හොදින් කොරගෙන යන මහින්ද මාමාට මුලු හිතින්ම සහයෝගය දෙන එක!එකම චිත්‍රපටියෙ එකම චරිතය රගපාන්න නලුවො දෙන්නෙක් මොකටද ආයුබොවන්ඩ?එකම දේවල් ටික කිසිම වෙනසක් නැතිව කොර කොර ඉන්න නං රටකට පක්ස දෙකක් මොකටද ආයුබොවන්ඩ?ඉන්න නලුව චරිතය හොදට කොරනව නං ඒ නලුවට වැඩේ කොරගෙන යන්න දීල ඉන්න එක නෙමෙයිද කොරන්න අවස්ය?

මේ හින්ද යූඇන්පියෙ නායකය රනිල් උනත් කරු උනත් සජිත් උනත් - කිසිම වෙනසක් රටේ සිස්ටම් එකේ වෙන්නෙත් නැති හින්ද පුලස්තිට මේ විවාදය වැඩිය ලස්සන බොද මීදුම්ද,මිලාද,සරාද කියල වාද කරන්නා ව‍ගේ තේරුමක් නැති ටොපික් එකක්.

යූඇන්පියට අලුත් නායකයෙක් ඕනෙම නං,නැතිවමම බැරි නං හැබැයි පුලස්තිගෙ යෝජනාව මේකයි.ඕකෙ නායකකම වෙනස්‍ කොලා කියල රටේ වත් තොටේ වත් වෙන අහවල් වෙනසක් නැහැ.ඒ හින්ද රට ගැන අමතක කොරමු.පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඒ ගැන හිතන්න කොහොමත් මහින්ද මාමා ඉන්නවනෙ.අපි අපි ගැන හිතමු.ඒ කියන්නෙ සිංහල ‍බොලොග් කියවන ලියන අපි ගැන කල්පනා කරමු.

ඒ අනුව අපි කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා යූඇන්පියේ නායකයා කොරමු!

සිංහල බොලොග් කෑල්ලක් අටවගෙන හිටපු පස්සෙ මන්ත්‍රී වෙච්ච අජිත් අපේ වැයික්කියේ කොල්ලෙක් නෙමෙයිද?ඒ වගේ කොල්ලෙක් විපක්ස නායකය වෙලා ඉන්න එක රටට කොහොම උනත් බොලොග් ලියන්නො විදිහට අපිට ආඩම්බරයක් නෙමෙයිද?

Wednesday, July 13, 2011

මාරයාගෙ පංතියයි පුලස්තිගෙ පංතියයි

ලංකාවේ ක්‍රිකට් ගැන දන්න කිසි කෙනෙක් ක්‍රිකට් කන්ඩායමට සපෝට් කල පර්සි ගැන නොදන්නවා වෙන්න බැරුවා සේම සිංහල බ්ලොග් අවකාසය ගැන දන්න කිසි කෙනෙක් මාරයාගේ හෝරාව ගැන නොදන්නවා වෙන්න බැහැ.මාරයා ජනප්‍රිය වෙන්න හේතු බොහොමයි.මාරයාගෙ මාර ඇක්ස්පීරියන්ස් ගොන්නයි ඒ  මාර ඇක්ස්පීරියන්ස් ගොන්න ඇක්ස්ප්ලේන් කොරන මාර භාසා සෛලියයි බොහෝ දුරට ඒ ජනප්‍රියත්වයට හේතු උනා වෙන්න ඇහැකි.පුලස්තිට මාරයා ගැන ලියන්න හිතුනෙ මාරයා පසුගිය කාලෙ තැනින් තැන කල,පුලස්තිගෙ ඇහැ ගැටුනු ප්‍රකාසන තුනක් ගැන පුලස්ති තරමක් බොක්කෙන් බඩවැලෙන් කල්පනා කොරපු හින්ද.

මාර ප්‍රකාසය 1 - (රත්ගමයාගෙ අඩවියේදී ) විස්ස විද්දියාලෙට තේරුන නවකයන්ට දුන්න හමුදා පුහුනුව "බබා කෝස්" එකකි.ඒ කොබා බාස් එක වෙනුවට ලබන වංගියෙ සැර කෝස් එකක් දී නවකයන්ව "හැදිය" යුතුය.

මාර ප්‍රකාසය 2 - (තමන්ගේම අඩවියේදී ) මාරයා වන මම මහින්දට කඩේ යමි.ඒ බව මම ප්‍රසිද්ධියේ කියමි.2005 මහින්දට මා මුලු හදින් සද්භාවයෙන් පිරිත් කියූවෙමි.එතුමා වටේ ඉන්න අය නරක උනාට එතුමා රට ගොඩගන්නවා ඇත.

මාර ප්‍රකාසය 3- (තමන්ගේම අඩවියේ කොමෙන්ටුවක)මාරයා වන මම ඉහලට ඉගෙන ගෙන නැත.ලොකු රස්සාවක් කරන්නේද නැත.කුල්ටූර් මහත්වරු මෙන් නොව මං වගේ දුප්පත් ඈයො මහින්ද මහත්තයාට ආදරේය.අපි තුනේ පංතියෙ අය වෙන්න පුලුවන.මහින්ද විරුද්ධ වන බොහෝ දෙනා ලොකු පංතියේ අයයි.තුනේ පංතියෙ අපි එහෙම නැත.

මාරයාගේ වචනයෙන්ම නොවුනත් මේ සටහන් කලේ වරින් වර මාරයා පල කල අදහස් වල හරය.

මේ කරුනු සලකමින් පුලස්ති හිතුවෙ සරල දෙයක්.මාරයා කියන විදිහට පුද්ගලික ආරක්සක ආයතනයක සේවය කොරන උන්නැහෙ අයිති තුන්වෙනි පංතියට නං පුලස්ති අයිති වෙන්නෙ මොන පංතියටද?ඒකත් මාර පුරස්නයක්.මාරයා වගේම පුලස්තිත් ඉහලට ඉගෙන ගෙන නැහැ.මාරයා වගේම පුලස්තිත් කොරන්නෙ සුදු කරපටි ජොබක් නෙමෙයි.ඉස්සර වීල් එකක් කොලා.දැන් කොමියුනිකේසන් එකක වැඩ.ඇකඩමික් කොලිපිකේසන් නැතුවට මාරයා යමක් කමක් ගැන දන්නවා.පුලස්තිත් සහතික උපාධි නැතිවට යමක් කමක් කියවලා යමක් කමක් ගැන කථා කොරන්න අදහස් දක්කන්න ඇහැකියාව අරගෙන තියෙනවා.මාරයා බීමට ආසයි.පුලස්ති බටවලට ආසයි.

සමාවෙලා මට කියන්න,බලන්න මගෙ දෑස දිහා -  දැන් අපි දෙන්නම එක පංතියේ නෙමෙයිද?

දෙන්නම තුනේ පංතියෙ උනාට මාරයා පුලස්තිගෙන් වෙනස් වෙන තැන මොකක්ද?

මාරයා කියන විදිහට මහින්ද හාමුට තුනේ පංතියෙ ඈයො බොහොම  ආදරෙයි.ඉතිහාසයේ හිටපු අනෙත් වෙනත් ගොඩක් හාමුලාටත් තුනේ පංතියෙ අපි වගේ බයියො බොහොම ලෙන්ගතුව හිටියා.ඩීඇස් හාමු.ඩඩ්ලි හාමු.සිරිමා නෝනා.ප්‍රේමදාස මැතිතුමා.ඒ ලැයිස්තුවේ වර්තමාන නියෝජිතයා තමයි මහින්ද හාමු.තුනේ පංතියෙ බයියො උන්නැහෙලාට ආදරේ උනත් නැතත් උන්නැහෙලා කවුරුත් අයිති තුනේ පංතියට නෙමෙයි.මේ කවුරු කවුරුත් උත්තමයාස්ල අයිති වෙන්නෙ එකේ පංතියට.පුලස්ති ඒක හොදට දන්නවා.පුලස්තිට ඒක හොදට තේරෙනවා.

මේ හාමුලා අයිති පංතිය ඉහලයි.සුඛෝපභෝගීයි.හාමුලා කවදත් හිටියෙඋන්නෙ හරි විනෝදෙන්.හාමුලා කියන කරන හැමදේම කොරන්නෙ ඒ විනෝදය රැකගන්න මිස අහවල් මගුලකට නෙමෙයි.සිංහල දෙමල මිනිස්සුන්ව මේ හාමුලා ඉතිහාසයේ කෙටෙව්වෙ ඇයි?මිනිස්සුන්ගේ ඔලු මතින් අවි ආයුද ගත්ත මහා සංකීර්න රාජ්‍යයක් උන්නැහෙලා අටවගත්තෙ ඇයි?වරින් වර වරින් වර උන්නැහෙලා යුද්ධ කලේ ඇයි?හදිසි නීති පනවගෙන පාරවල් වහගෙන ඉන්නෙ ඇයි?මිලිටරි ට්‍රේනිං දීල විස්ස විද්දියාලවල කොල්ලන්ගෙ මොල හෝදන්නෙ ඇයි?

මේ කිසිම බම්බුවක් කොරන්නෙ මාරයා වත් පුලස්ති වත් අයිති තුනේ පංතියේ යහපතට නෙමෙයි තමුන්ගෙ එකේ පංතියෙ බලය ආරක්සා කොරගන්ට කියල පුලස්තිට තේරෙනවා.පුලස්තිට තේරෙන විදිහට දේසපාලනය කියන්නෙ මේ එකේ පංතිය තමුන්නෙ වරප්‍රසාදයි බලයයි ආරක්සා කොරගන්න ගහන ගේම් එකට.රනිල් හාමු,සජිත් හාමු,මහින්ද හාමු - මේ හැම හාමුම එකේ පංතියේ සඕදර මැම්බර්ස්ලා නෙමෙයිද?මේ මැම්බර්ස්ලා  දසක ගානක් තිස්සෙ රට උලා කෑවා.තාම උලා කනවා.ඒ උලා කන එක පවත්වගෙන යන්න තුනේ පංතියේ අපිව හරි හරියට කඩේ යවනවා.තුනේ පංතියෙ අපිව උන්නැහෙලා ඉතිහාසය පුරා බෙදුවා.සිංහල දෙමල කියල බෙදුව.යුඇන්පී ශ්‍රී ලංකා කියල බෙදුව.අපි හැමදාම රට,ජාතිය,පක්ෂය වෙනුවෙන් කියල හිතාගෙන මේ නායක උත්තමයාස්ලා වෙනුවෙන් කඩේ ගියා.තවමත් කඩේ යනවා.

එහෙම කඩේ යන එකම කෙනා මාරයාද?නැහැ.තව ලක්ස ගනනක් ඉන්නවා.

මාරයා කඩේ යන්නේ මහින්දට කියල හිතුවට ඇත්තටම උන්නැහෙ කඩේ යන්නෙ මහින්ද හාමුට නෙමෙයි.මහින්ද හාමුලා රකින්නෙ එකේ පංතියේ ආධිපත්‍යය.සුප්‍රිමසිය.ඒ නිසා ඇත්තටම මාරයා කොරන්නෙ වෙන මොකක්වත් නෙමෙයි - තුනේ පංතියේ ඉදගෙන එකේ පංතියට කඩේ යාම.සාමාන්‍ය මිනිහෙක් වෙලා ඉදගෙන ප්‍රභූ පැලැන්තියට කඩේ යාම.එකේ පංතියට කඩේ ගියා කියල ඉදල හිටල ලැබෙන ටොපියකට වඩා වැඩි දෙයක් තුනේ පංතියට ලැබෙන්නෙ නැහැ කියල පුලස්ති හොදටම දන්නවා.ඒ නිසා සුදු ඇදගත්ත එකේ කැලෑසියේ ප්‍රභුන්ට කඩේ යන එක පුලස්තිට අපුලයි.අමනයි.අජූවයි.අප්‍රසන්නයි.එකේ කැලෑසිය පස්සෙ බඩ ගගා චාටර් වෙවී ඉන්න එක දැන්වත් නවත්වලා සිංහල දෙමල,යූඇන්පී ශ්‍රී ලංකා වගේ බොරු භේද පැත්තකට කොරලා තුනේ පංතියෙ අපිට අපේ තනි දේසපාලනයක් පටන් ගන්න බැරිද?

අධ්‍යාපනයෙන්,කොරන රස්සාවෙන්,බොන එකෙන්,බට ගහන එකෙන් ගොඩක් දුරට පුලස්තිට සමාන මාරයා කියන සගයා මෙන්න මේ දේසපාලන තෝරාගැනීමේදී පුලස්තිට අසමාන වීම මොන තරම් අවාසනාවක්ද?

Saturday, July 9, 2011

දේශද්‍රෝහී සංගක්කාර වහා සිරගත කරනු!


චැනල් ෆෝ වීඩියෝවට තොරතුරු දුන්නය කියල මහනුවර පලාතෙ පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරගෙන.වැඩිදුර පුරස්න කිරීම් වලට උන්නැහෙව රහස් පොලිසියට කුදලගෙන ගිහිල්ල තියෙනව.අත්අඩංගුවට පත්වෙලා ඉන්න පුද්ගලයාගේ නම කන්දවරන් වීදිස්වරන්.

ලහිලහියේ හමුදාව ක්‍රියාත්මක කරවලා ගල්පල්ලියට යවපු තවත් සිරකරුවෙක් දැන් අවුරුදු දෙකක් තිස්සෙ හිරේ ලැගල ඉන්නව.චෝදනාව - සුදු කොඩි අරන් ආව කොටි නායකයොන්ට හමුදාව වෙඩි තිබ්බ බව උන්නැහේ හෙලිදරවු කිරීම.ඒ මහත්තැන්ගෙ නම සරත් ෆොන්සේකා.

ඉතින් මොහොතකට සහුර්දයිනි,මේ කථා දෙකම ඇත්ත කියල අපි උපකල්පනය කොරමු.

ඒ කියන්නෙ විදිස්වරන් චැනල් ෆෝ එකට තොරතුරු දුන්න බවත්,ෆොන්සේකා බොස් සුදු කොඩි කථාව කීව බවත් මොහොතකට පිලිගම්මු.දැන් මේ ඩබලම කොරල තියෙන්නෙ මොනවද?

චැනල් ෆෝ වීඩියෝවේ සිද්ධි අනුසිද්ධිත් රට ඇතුලෙ සිද්ධ උන එව්ව.සුදු කොඩි සිද්ධිය කියන්නෙත් රට ඇතුලෙ හටගත්ත සිද්ධියක් අනුසිද්ධියක්.චැනල් ෆෝ ගැන පුලස්ති ගිය පාර ලීව ආත්ම ප්‍රකාසනේට පිලිතුරු බැදපු සමහර දේසප්‍රේමීන් පුලාගේ අම්ම ගැනයි තාත්ත ගැනයි බිරින්දෑගේ අහවල් එකයි ගැන කියල තිබුන මිස එහෙම සිද්ධි හටගත්තෙ නැති බවක් කියල තිබුනෙ නැහැ.තවත් සිහියෙන් පිලිතුරු බැන්ද සමහර දේසප්‍රේමීන් එහෙම සිද්ධි හටගත්ත පසුබිම සාධාරනීකරනය කලා මිස සිද්ධි හටගත්ත බවක් ප්‍රතික්සේප කොලේ නැහැ.

ඒ කියන්නෙ - වීදිස්වරන් හා ෆොන්සේකා දෙන්නම ( නැවතත් - ඒ ඩබල එහෙම කියල තියෙනව කියන උපකල්පනේට යටත්ව ) කොරල තියෙන්නෙ රටේ වෙච්චි ඇත්ත දෙයක් ගැන තොරතුරු ප්‍රසිද්ධියේ කිව්ව එක.

එතකොට පහුගිය දවසෙ ලෝඩ්ස් පිට්ටනිය මැද්දෙ කුමාර් සංගක්කාර කලේ මොකක්ද?

ලංකාවේ ක්‍රිකට් දේසපාලනිකකරනය වෙලා කියල සංගක්කාර එංගලන්තෙදි කොරපු ස්පිච් එකයි මේ වෙනකොට රට ගිනි තියන නිව්ස් එක.

ජාත්‍යන්තරය ඉස්සරහ,අපිව ගිලගන්න බලාගෙන ඉන්න විදේස කුමන්ත්‍රනකාරයෝ,එන්ජීඕ බූවල්ලෝ,පජාතයෝ,පෙරේතයෝ,කුම්භාන්ඩයෝ,අධිරාජ්‍යවාදියෝ සේරම ඉස්සරහ ලංකාවෙ ක්‍රිකට් පරිපාලනය අන්ත දුසිතයි කියල මුන්නැහෙ මහ සද්දෙට තමුන්නෙ දේසනයේදී කියෙව්වා.ක්‍රිකට් පරිපාලනය බලු වෙලා කියල උන්නැහෙ කිව්වා.උඩින් බැලුවත් යටින් බැලුවත් හරහට බැලුවත් ඇතුලෙන් බැලුවත් මේ කථාව එහෙම්පිටින්ම ලංකා ක්‍රිකට් ආයතනයේ,ලංකාවේ රජයේ,අපේ ක්‍රීඩා අමාත්‍යංසයෙ,ක්‍රීඩා අමාත්‍යංසය මෙහෙයවන ආන්ඩු‍වේ මූන හරි මැදට එල්ල කොරපු මිට මෙලවූ බොක්සිං ප්‍රහාරයක්.

චැනල් ෆෝ වීඩියෝවෙන් අපේ රට ජාත්‍යන්තරය ඉස්සරහ හෑල්ලු උනා වගේ,සුදු කොඩි කථාවෙන් අපි ජාත්‍යන්තරය ඉස්සරහ පච උනා වගේ සංගක්කාරගේ ලෝඩ්ස් දේසනයෙනුත් උනේ සමාන සිද්ධියක් නෙමෙයිද ආයුබොවන්ඩ?මෙච්චර කල් මේ දූපතේ ගෞරවයකට තිබුනෙ ක්‍රිකට් විතරයි.ඒකත් මහ දූසිත ක්සේත්‍රයක් කියල රටේ හිටපු ජාතික නායකයම කියනකොට - අපේ රට හෑල්ලු කොරන්න දිවා රෑ දත මැදගෙන ඉන්න කුමන්ත්‍රනකාරයොන්ට මේක හෙන පල්ලමක් නෙමෙයිද ආයුබොවන්ඩ?

හිටපු හමුදා නායකයා රට හෑල්ලු කොරපු එකට දන්ඩනය ගල්පල්ලියට දැක්කීම නං හිටපු ක්‍රිකට් නායකයා ඒ වගේ වැඩක් කොලාම දෙන්න ඕනෙ දන්ඩනය මොකක්ද?මහනුවර පදිංචි දෙමල ජාතික වීදිස්වරන් ‍රටේ උන ඇත්ත දෙයක් ගැන ලෝකෙට තොරතුරු දීල රට හෑල්ලු කලාට දෙන දඩුවම පොලිසියට කුදලගෙන යන එක නං මහනුවරම පදිංචි සිංහල ජාතික සංගක්කාර සමාන වැඩක් කොලාම දෙන්න ඕනෙ දන්ඩනය මොකක්ද?

සුදු කොඩි කථා කියල රට පාවලා දුන්න ෆොන්සේකාව එල්ලන්න ඕනෙ කියල ආරක්සක ලේකම් වහන්සේ බීබීසී කැමරාව ඉස්සරහ ගිගිරුවා.ර‍ටේ ක්‍රිකට් දූසිතයි කියල මේ අසිරිමත් දිවයින ගිලගන්න බලං ඉන්න පාපතරයන්ට අවජාතකවාදීන්ට රට පාවලා දුන්න සංගක්කාරව එල්ලන්න ඕනෙ කියල උන්වහන්සේ බීබීසිය ඉස්සරහ ගොරවන්නේ කවද්ද?

Thursday, June 16, 2011

චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි දිල්කා සමන්මලීයි




ඊයෙ රාත්තිරියෙ දෙරන රූපවාහිනියෙ ප්රවුත්ති ප්‍රකාසය දිල්කා සමන්මලී නෝනා පටන්ගත්තෙ හරිම හැගීම්බර හඩකින්.
"අද පොසොන් පෝය දවස.බලන්න මේ උතුම් දවසෙත් අපිට මුලින්ම රපෝර්තු කොරන්න තියෙන්නෙ මහ නරක ආරංචියක්" සමන්මලී නෝනා දුකින් කීව.
මොකක්ද බොල මේ නරක ආරංචිය කියල අහන්න පුලස්ති රූපවාහිනිය ඉස්සරහ හරි බරි ගැහිල ඉදගත්තා.
"චැනල් ෆෝ නාලිකාව දිගින් දිගටම ලංකාවට විරුද්දව අසත්‍ය ප්‍රචාර අරගෙන ගියා.ඒ වගේම තවත් අසත්‍ය වාර්තා වැඩසටහනක් ඊයේ එංගලන්තයෙදි විකාසය කොරල නෙව"සමන්මලී නෝනාට එහා පැත්තෙ ඉදගෙන නිවුස් කියන මහත්තයා තරහ මූනක් අරගෙන කීව.

"මේ චැනල් ෆෝ එවුවො නං!"පුලාගෙ අසල්වැසි ගනිත කොටා මිට මෙලවූ අතින් දනිහට ගහගත්ත.
"ඒක නේන්නං.අපි මේ යුද්ධයක් කෙරල යම්තම් හුස්මක් කටක් ගත්ත විතරයි,මොන තරහකට මේ අපිට නින්දා කරනවද?"පුලාගේ නෝනා සුරේඛාත් හුම්මිටි තිබ්බා.

නෝනාවරුනි මහත්වරුනි,ඇත්තටම මොකක්ද මේ චැනල් ෆෝ සීන් එක?

කවුරුත් කිව්ව පලියටවත් කවුරුත් ඉගැන්නුව පලියටවත් මුකුත් පිලිගන්න එපාහොයල බලල දෙයක් ගැන නිගමනේට එන්න කියල බුදු හාමුදුරුවො කියල තියෙනවලු නෙව.බෞද්ධ රට කියල කියන රටේ ඉන්න බෞද්ධයො කොහොම උනත් පුලස්ති ඒ උපදේසේ නං අකුරටම පිලිපදිනව.ඒ හින්ද චැනල් ෆෝ වීඩියෝව මොකක්ද කියල පුලස්ති ඕනෑකමින් හොයල බැලුව.

පහුගිය 14 වෙනිදා රෑ ජාමෙ චැනල් ෆෝ කියන එංගලන්තෙ නාලිකාව "ස්‍රී ලංකන් කිලින් ෆීල්ඩ්ස්"කියල මිනිත්තු පනහක විතර වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කොරල තියෙනව.පහලින් තියෙන්නෙ ඒ වැඩසටහනේ සබැදිය.

http://www.youtube.com/watch?v=Rz_eCLcp1Mc

මේක නං අන්තර්ජාලෙ අතපත ගාන ගොඩක් දෙනා මේ වෙනකොටත් බලල ඇති.අඩුම තරමින් බැලුවෙ නැතත් එහෙම එකක් තියෙනව කියලවත් දකින්න ඇති.

ඒකෙන් මේකෙන් වීඩියෝවෙ තියෙන්නෙ මොනවද?මේ පුලස්ති දැකපු දේවලින් කිහිපයක්.

1.යුද්ධ වෙලාව.කිලිනොච්චිය.හමුදාවෙන් එකසිය ගානට ෂෙල් දානව.මේ ෂෙල් වලින් සාමාන්‍ය මිනිස්සු තොග පිටින මැරෙනව.තුවාල වෙන මිනිස්සු වෙනුවෙන් ඉස්පිරිතාලයෙ බෙහෙත් කොරන්න කිසිම පහසුකමක් නැහැ.
කිසි පහසුකමක් නැති,තුවාල වෙච්ච,වේදනාවෙන් කෑ ගහන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලයටත් හමුදාව ඇවිත් අන්තිමේදී ෂෙල් ගහනව.

2.ගෙදරක්.උඩින් අම්බානක බෝම්බ වදිනව.වීඩියෝ කරන මිනිහ වටේ දේවල් වීඩියෝ කරද්දී මිනිහගෙ පවුලෙ අය කපල තියෙන අගලක් ඇතුලට රිංගනවා බෝම්බ වලින් බේරෙන්න.අගලට රිංගන ගැහැනු කෙනෙක් වීඩියෝ කරන මනුස්සයාට කෑ ගහනව."වීඩියෝව නතර කරන්න!මොකකටද වීඩියෝ කරන්නෙ?ඔයත් මැරිල යයි.තේරෙන් නැද්ද මෙයාල අපිව ගානක් නැතිව මරනවා!"ඒ ගැහැනු කෙනා විලාප නගමින් දෙමලෙන් කෑ ගහනවා

3.එල්ටීටීකාරයෙක්.තරුනයෙක්.තරුනයාව ගහක බැදල තියෙනව.මිනිහව වට කරගෙන හමුදාවෙ අය මිනිහට වද දෙනව.පිහියකින් මුලු ඇගම කපලා දාල කියන්න පුලුවන් සාක්කි තියෙනව.අන්තිමේදී වද දීපු මනුස්සයාගෙ මල සිරුරෙ පින්තුරයක් වීඩියෝවෙ පෙන්නනවා.

4.මරල දාපු ගැහැනු සිරුරු වගයක්.ඒවයෙ ඇදුම් මුකුත් නැහැ.ඒ හෙලු සරීර එක්ක අපේ රනවිරුවො විනෝද වෙනව."අම්මට හුකන්න කැරි කොටි!"එක රනවිරුවෙක් විනෝදෙන් කෑ ගහනව.ගැහැනු සරීර වල රහස් තැන්වලට තමුන්නෙ මොබයිල් ෆෝන් එක එක්කෙනෙක් අල්ලනව."තව හොදට අල්ලපන්!"එකෙක් කියනව.ඇදුම් ගලවලා තියෙන ඒ වගේ එක ගැහැනු කෙනෙක් කොටින්ගෙ රූපවාහිනී සේවෙක නිවුස් කියපු ගැහැනු කෙනෙක් විදිහට අදුන ගැනෙනවා.

5.රූපවාහිනිය ඉස්සරහ දූසනයට ලක්වුන මැදිවියේ ගැහැනු කෙනෙක් සාක්කි දෙනවා.තමුන්නෙ දුවයි තමන්වයි සොල්දාදුවන් දූසනය කොරපු හැටි ගැන ඇය කියනවා.ඇයට "දූසනය" කියන වචනේ කියාගන්නවත් ධෛර්යයක් නැහැ.

6.ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම මැරිල වැටෙනව.
අත්අඩංගුවට ගන්න දේසපාලන සිරකාරයො මෙහෙම මරල දාන්න පුලුවන්ද?නීතිය ගැන දන්න අය දනී.පුලා නොදනී.

මේ සේරම බැලුවට පස්සෙ පුලස්තිට එන පුරස්න ටික මේ විදිහට පෙල ගහන්න අවසර දෙන්න.

1.මේ පෙන්නන ඒව දෙරනයි ආන්ඩුවයි කියන විදිහට සේරම බොරුද?පචද?අසත්‍යයද?මොබයිල් ෆෝන් දර්සන වල එතකොට ඒ ඉන්නෙ අපේ රනවිරුවො නෙමෙයිද?ඒ සුද්දො වගයක් සොල්දාදුවො වගේ ඇදගෙන රගපානවද?සිංහලෙන් කුනුහරුපෙන් කෑ ගහන්නෙත් එහෙම රගපාන චැනල් ෆෝ එකේ සුද්දොද?ඇදුම් ගලවලා ට්‍රැක්ටර් වලට පටවන ගැහැනුන්ගෙ මිනී - ඒව රගපෑමට ගෙනාව රංගන භාන්ඩද?
2.මේ වාර්තා වැඩසටහන බොරුවක්ය කියල මොහොතකට හිතමු.ඒක බොරුවක්ද නැද්ද කියල තීරනය කරන්න ඕනෙ කවුද?ආන්ඩුවද?දෙරනෙ බලධාරීන්ද?
මේ රටේ මිනිස්සුද?
පුලා අහන්නෙ දෙරනෙ උන්නැහෙලා ට එක පැයක් අරගෙන මේ "බොරු" වීඩියෝවල තියෙන්නෙ මොනවද කියල ප්‍රචාරය කරන්න බැරි ඇයි?එතකොට මේ "බොරුව" දැනගෙන රටේ මිනිස්සුන්ටත් හොදටම තරහ යයි නෙව.බටහිර කුමන්ත්‍රනකාරයන්ට විරුද්දව තව තවත් රටේ මහජනයා ෆෝම් වෙයි නෙව.සාමාන්‍ය මිනිහට ඒ "බොරු" වීඩියෝ එක පෙන්නන්න කවුරුත් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි?
3.ඇදුම් නැතිව මරල දාල තිබ්බ කොටි රූපවාහිනි සේවාවල නිවුස් කියපු ගැහැනු කෙනා -එයාගෙ නම ප්‍රියා- කියන්නෙ කවුද?ඒ දෙමල ජාතික දිල්කා සමන්මලී නේද?උන්ගෙ ලොක්කාට සපෝට් චැනල්වල උන්ගෙ ලොක්කට ඕනෙ විදිහට ප්‍රියා නිව්ස් කිව්වා.අපේ ලොක්කට හිතවත් චැනල්වල අපේ ලොක්කට ඕනෙ විදිහට දිල්කා නිව්ස් කියනවා.ගැහැනියක් අර විදිහට මරල දාල තියනව දැක දැකත් "චැනල් ෆෝ කියන්නෙ බොරුවක්" කියල හැගීම්බර මූනක් මවාගෙන ඇක්ට් කොරන්න දිල්කා සමන්මලීලට හෘද සාක්කියක් කියල එකක් තියෙනවද?
4.අපි කවුරුත් මේ කොරන්නෙ මහ බොරුවක් නෙමෙයිද?අපේ ලොක්කො අපිට කියන්නෙත් බොරුවක් නේද?අපි ටීවි එකෙන් වන්නි සටන බල බල කිරිබත් කනකොට මහා ඛේදවාචකයක් උතුරෙ වෙලා තියෙනව නේද?ඒක අපිට හැංගුවා නේද?කොටි මිනීමැරුව බෝම්බ ගැහුව කියන එක අපි හැමෝම දන්න කාරනයක්.ඒත් හමුදාව උතුරෙ මේ විදිහට හැසිරුනා කියන එක අපි දැනං හිටියෙ නැහැ නේද?ඒව සේරම අපෙන් වහල නේද තිබුනෙ?අපි දිව්‍ය සත්‍යයක් විදිහට අදහගෙන හිටපු දේ අන්තිමට බලද්දි අලි ප්‍රබන්ධයක් නේද?
5.මෙතනදි ගොඩක් දෙනා (හිතහදාගන්න) කියන එකක් තමයි "ඇයි ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ ඇමරිකාව මිනී මරන්නෙ" කියන පුරස්නෙ.
මගේ අහිංසක ප්‍රති පුරස්නෙ මෙච්චරයි.එතකොට අමෙරිකාව ඉරාකෙ මිනීමැරුවා කියන එකෙන් අපි මෙහෙ කොරන වැරදි හරි වෙනවද?කෙනෙක් වරදක් කරන එක වෙනත් කෙනෙක්ට අපරාදයක් කිරීමට බලපත්තරයක් වෙනවද?මගේ අල්ලපු ගෙදර එකා ගඩු බහනව.මාත් ගඩු බහනව.අල්ලපු ගෙදර එකා ගෑනිට මාට්ටු වෙලා නැහැ.මම ගෑනිට මාට්ටු වෙනව.මම ගෑනිට කියනව "ඇයි මම විතරද ගඩු බහන්නෙ.අල්ලපු ගෙදර එකත් ඒකම කරනවනෙ".
ඒ උත්තරය හරිද?
6.තව සමහරක් කියන කතාව තමයි "පරන තුවාල හාරලා ඇති වැඩක් නැහැ" කියන එක.එතකොට 1994 දි සූරියකන්දෙදි අපි හෑරුවෙ පරන තුවාලද?බටලන්ද ගැන හෝකන්දර ගැන ප්‍රේමදාස කාලෙ ප්‍රා ඝ්‍රා කියල ඝාතන කල්ලි හදාගෙන කර අපරාධ ගැන හොයල අපි හෑරුවෙ පරන තුවාලද?

අවසාන වසයෙන් මහත්වරුනි නෝනාවරුනි -කිව හැක්කේ එක දෙයකි.පුලස්ති කලකිරුනි.හොදටම කලකිරුනි.රනවිරුවා-මානුසික මෙහෙයුම-සිවිල් වැසියන්ට හානි නොවී කල යුද්ධය-මානව හිමිකම් ප්‍රඥප්තියයි තුවක්කුවයි අතේ අරන් යුද්ධ කරන වීරෝදාර හමුදාව - මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!

Saturday, April 23, 2011

කොටි සංවිධානය ත්‍රස්තවාදී ක්‍රියා නොකල බව රජය පිලිගනියි! / Don't CONDEM koti sanvidhanaya - Government


රජය ගහල තියෙන යූ ටර්න් එක ගැන ඇහුව පුලස්ති විස්මයෙන් විස්මයට පත් උනා.ගහපු යූ ටර්න් එක ඒ තරමටම මඥ්ඥං යූ ටර්න් එකක්.ලෝකය මැව්වෙ දෙවියන් වහන්සේ කියල බුදු හාමුදුරුවො කියන්නා වාගේ,මැරුනට පස්සෙ ආයෙත් උපදිනව කියල ජේසුස් වහන්සේ කිව්ව වගේ,වෛරයෙන් වෛරය නොසංසිදේ කියල මහම්මද් උන්නාන්සෙ කිව්ව වගේ යූ ටර්න් එකක් රජය ගහල තියෙන්නෙ.

එල්ටීටීඊ සංවිධානය යුද්දයේ අන්තිම කාලයේ කිසිම වරදක් කලේ නැහැ කියල මෙන්න ඒ පාර ආන්ඩුව කියනව!

මේක ආරංචි වුන පුලස්ති ඔලුව ඔල්මොරොන්දං ගහගෙන ගෙදර වටේ ඇවිද ඇවිද හිටියා.කොටි කියන්නෙ මිනීමරු සෙට් එකක්,උන් ඉන්නකං රටට වගතුවක් නැහැ,රට දියුනු කරන්න නං උන්ව සමූලඝාතනය කොරන්න ඕනෙය කියල අපිට කිව්වෙ ආන්ඩුවම නෙව.චම්පික රනවකලා,විමල් වීරවංසලා කොටින්ගේ මිනීමරු ගතිය ගැන,ලේ පිපාසිත ත්‍රස්තවාදී භයංකර භීෂනකාරී මායාකාරී ගතිය ගැන කී තරමක් දේවල් පහුගිය අවුරුදු හය හතට කන් පිරෙනකම් නැවත නැවත නැවත නැවත නැවත නැවත කිව්වද?දැන් මෙන්න ඒ සේරම වෙනස් කරලා.එක පාරට ආන්ඩුව එක හඩින් මුලු හදවතින් එක්සත්ව එක්සිත්ව කියනව කොටි මිනීමැරුවේ නැතිලු!

"මොනවද අයිසෙ මේ උදේ පාන්දර විකාරයක් කියවන්නෙ?වැඩක් නැත්තං මේ රෙදි ටික වේලගන්න උදවු වෙනවකො"පුලස්තිගෙ පවුල පුලස්ති කිව්ව ආරංචිය අහල තරමක සද්දයක් දැම්මා.
"‍මොකක්ද විකාරය?" පුලා පවුලගෙන් තරහෙන් ඇහුව.මේ දීගේ කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.පුලාගේ අදහස් වලට කිසිම තැනක් ලැබෙන්නෙ නැහැ.
"කොහෙද ආන්ඩුව කියල තියෙන්නෙ කොටි මිනීමැ‍රුවෙ නැතෙයි කියල?තමුසෙගෙ විකාර.මම නං කිසිම තැනක දැක්කෙ නැහැ ඔහොම දෙයක් කියනව" පුලාගේ පවුල ( පුලාගේ ගෙදර එස්සත් ජාතීන්ගේ සංවිධානය නං ඒකෙ මුන් කී බෑං තමයි පුලා'ස් වයිෆ් ) නිවේදනය කලා.

"දන් නැත්තං අහගන්න"පුලස්ති පැහැදිලි කොරන්න පටන් ගත්තා.

"දැන් මුං කී බෑන් අරහෙ රිපෝට් එකක් දාල තියෙනව.ඒක දන්නවද?"පුලා ඇහුවා.
"ඔව?"පුලා'ස් වයිෆ් කිව්වා.
"ආන්ඩුව ඒ වාර්තාව ගැන එක හෙලා මොකක්ද කියන‍්නෙ?මේක අසත්‍ය,පදනම් විරහිත,බොරු කරුනු මත පදනම් වුන,සත පහක ඇත්තක් නැති අධිරාජ්‍යවාදීන්ගේ පටු අරමුනකට හදපු ප්‍රෝඩාවක් මුලාවක් වංචාවක් කෙප්පයක් අවලාදයක් මඩක් නීච පච මුසාවාදයක් කියලනෙ"

"ඔවු"පුලා'ස් වයිෆ් හුම්මිටි තිබ්බා.

"ඉතිං ඒ රිපෝට් එකේ කියන්නේ මොනවද?ඒකෙන් ආන්ඩුවට කාරනා පහක් යටතේ යුද වැරදි වලට චාජ් කොරනකොට කොටින්ට කාරනා හයක් යටතේ යුද වැරදි වලට චාජ්‍ කොරල තියෙනව.
කොටි සිවිල් වැසියො මිනිස් පලිහක් විදිහට යොදා ගත්තලු.
කොටි කලාපයෙන් පැනල යන්න ගිය අහිංසකයන්ව මරල දැම්මලු
ලමයින්ව බලෙන් යුද‍්දෙට ගත්තලු.
බලෙන් මිනිස්සුන්ගෙන් වැඩ ගත්තලු.
මරාගෙන මැරෙන ප්‍රහාර කොරල සිවිල් වැසියන්ව මරල දැම්මලු.
ආන්ඩුවට චෝදනා පහක් කරද්දී මුන් කී බෑං කොටින්ට චෝදනා හයක් කොරල තියෙනව"

"ඉතිං"පුලා'ස් වයිෆ් පුලාගේ තර්කය තේරුම් ගන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ.

"ඉතිං දැං ආන්ඩුව කියනවනෙ මේ මුන් කී බෑංගේ වාර්තාව බොරු කියල.මේකෙ කරුනු වලට කිසි පදනමක් නැල්ලු.මේකෙ තියෙන්නෙ හොයල බලන්නෙ නැතිව ලියපු එව්වලු.ඉතිං වාර්තාව සම්පූර්න බොරුවක් නං කොටි ගැන තියෙන කෑල්ල විතරක් ඇත්ත වෙන්න බැහැ නෙව.මේක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව බොරු කරුනු දාල ලියල තියෙන පච වාර්තාවක් කියල ආන්ඩුව කියනව නං ඒකෙ‍ කොටි ගැන තියෙන කෑල්ලත් ඉබේම බොරු වෙනවා.

ඒ කියන්නෙ - ආන්ඩුව කියන විදිහට මේ වාර්තාව තනි බොරුවක් නං

කොටි සිවිල් වැසියන්ව මිනිස් පලිහක් විදිහට යොදාගෙන නැහැ.ඒක බොරු.
කොටි තමුන්නෙ කලාපෙන් පනින අයව මරල නැහැ.ඒක පච.
ලමයි බලෙන් යුද්දෙට අරගෙනත් නැහැ.ඒකත් බොරු.
උන්ගෙන් බලෙන් වැඩ අරගෙනත් නැහැ.ඒකත් පච.
මරාගෙන මැරෙන සුයිසයිඩ් ඇටෑක් දිලත් නැහැ.බේගල්.
මේ කතා සේරම බොරු.පච.අදිරාජ්යවාදී කුමන්ත්‍රන!"

"ඈ?"පුලාස් වයිෆ් ඇසි බැමි උඩට ඉස්සුවා.

"ඒ කියන්නෙ සොදුරු සුරේඛා ( ඒ පුලා'ස් ෆැමිලී'ස් නේම් ) ආන්ඩුව යූ ටර්න් ගහල.එක්කො කොටි මිනීමැරුවා කියල ආන්ඩුව මෙච්චර කල් කියපු කතාව බොරු.නැත්තං මුන් කී බෑන්ගේ වාර්තාව අසත්‍යයයි කියල දැං කියන කතාව බොරු.ආතල් නේද?"

"ආතල්නෙ" තමුන්නෙ වල්ලභයාගේ සූක්සම තර්ක ඥානේ දැකල සොදුරු සුරේඛා අත්පුඩියක් ගැහුව.

"අපි නටමුද?"
"නටමු"
"නටමු?"
"ජාතික කොඩිය අරන් නටමු"

මුහුදේ යමු මසුන් මරන්න
සුරේඛා ඔරුව දියත් කරන්න
හා හා හා
අඹු දරු රැකගන්න අපිට ආනමඩුවෙ යන්න
සුරේඛා ඔරුව පදින්න!!!!

Sunday, March 27, 2011

පූජක විවාහ ආඥා පනතක් අරගෙන එමුද?



අපරැක්කේ පුඥානන්ද හාමුදුරුවො සාමනේර හාමුදුරු පැටවු ටිකකට අතවර කරල කියන නිව්ස් එක ආව ගමන් ඒක එහෙම උනේ ඇයි කියල පුලස්ති හිතන්න ගත්තා.

මේ පුලස්ති හිතන්න ගත්තෙ මාස ගානකට පස්සෙ.පහුගිය වංගියෙම පුලා හිටියෙ හිතන එක නතර කොරල.පුලාලගෙ ඉස්සරහ ගෙදර අලුතින් සල්ලි වලට අරන් ඉන්න ර.ආමනඩුව කියන නීතිඥ මහත්තැන් පුලාට දුන්න උපදේසෙ තමා "දියුනු වෙන්න ඕනෙ නං හිතන එක නවත්තන්න" කියන එක.හිතන්න ගියාම රටේ ලෝකෙ ඕනෙ මගුලුයි ඕනෙ නැති අවමගුලුයි සේරම ඔලුවට එනව.අනිත් එවුන්ට නැති පුරස්න හිතෙන්න ගන්නව.එතකොට ඒව හිතන එක හැර වෙන වැඩ කිඩ මුකුත් නැහැ.නොහිත වැඩක් බලාගෙන හිටිය නං ලේසියි.අබ්ලික් එකක් නැතිව පබ්ලික් එකේ ආතල් ලයිෆ් එකක් ගත කොරන්න ඇහැකි.එහෙම හිතපු පුලා ගොයිය තමුන්නෙ ත්‍රී රෝද රථේ නුවර හයිස්කූල් එක ගාවට ගෙනිහින් දැහැමින් සෙමෙන් රස්සාව කරගන්න පටන් ගෙන අවුරුද්දක් යන්න කලින් - මෙන්න බොලේ අපරැක්කේ පුඥානන්ද හිමි සාමනේර හාමුදුරුවරු එක්ක කොරපු පාෂාන සෙල්ලම මාට්ටු වෙලා!

තමුන්වහන්සේ ඉදල හිටල පුංචි හාමුදුරුවරු එක්ක පාෂාන කට් කරන්න සෙට් වුන බව අපරැක්කේ හිමියො අධිකරනය ඉදිරියේ පිලි අරගෙනලු.ඉදල හිටල කොරන මේ පුරුද්ද හාමුදුරුවොන්ට බෝ වුනේ කොහොමද?

මේ ගැන හිත හිත හිටපු පුලාගෙ ඔලුවට එක පාරට ආවෙ පාර්ලිමේන්තුව.අපරැක්කෙ හිමි 2004 පාර්ලිමේන්තුව ධර්ම රාජ්ජයක් කොරන්න වැඩිය හිමි නමක් නෙව.මේ අහිංසකව,පැත්තකට වෙලා,බන පදයක් දෙකක් කියාගෙන උන්නු අපෙ අපරැක්කෙ හාමුදුරුවො මේ ජරා වැඩේ ඉගෙන ගත්තෙ අර ගුබ්බෑයමට රිංගලද?අපරැක්කෙ හාමුදුරුවො එක්ක ඒ ගුබ්බෑයමට රිංගපු සිරි සුමංගල හාමුදුරුවොන්ගෙ පුරුෂ නිමිත්තට අද ආන්ඩු පක්සෙ ඉන්න මන්ත්‍රී උත්තමයාස්ලා කතානායක චන්දෙ වෙලාවෙ මසාජ් එකක් දුන්න නිව්ස් එක රටට රහසක් නෙවෙයි නෙව.ඒ වගෙ ගල් බාස්ලා සෙට් එකක් මැදට වැටුනම - මොන ගිරවද නරක් නොවෙන්නෙ?

මේ අදහස ඔස්සෙ හිතන්න ගත්තම තමයි පුලස්තිට කතෝලික පල්ලියෙ සිද්ද වෙලා තියෙන සීන් කෝන් ගැනත් කල්පනාවට ආවෙ.2004 අවුරුද්දෙ විතරක් ඇමරිකාවෙ පූජක වහන්සේලා 4392 කට ලිංගික අතවර කොලාය කියල චෝදනා එල්ල වෙලා තියෙනවලු.මේ ගොඩක් පාෂාන සෙල්ලම් වලට ගොදුරු කොරගෙන තියෙන්නෙ අවුරුදු 11-17 අතර පිරිමි ලමයි.කොයිපැත්තෙන් බැලුවත් පාෂාන්ඩ සෙල්ලමක් වෙන පාෂාන සෙල්ලම කතෝලික පල්ලියෙත් බලාගෙන යන කොට ඉස් අ සිරා කේස් ඇක්චුවලි.

එතකොට ඒ කතෝලික පූජක උන්නාන්සෙලා මේ වගේ නරක පුරුද්දකට ඇබ්බැයි උනේ මක්කෙයි?උන්නාන්සෙලාත් ඒ රටේ ජාතික අමරිකන් උරුමය කියල පක්සයක් හදාගෙන කොංග්‍රස් එකට ඉල්ලලා ඒකට රිංගන්න ගිහින් නරක් උනැයි?එහෙම උනේ නැහැ නෙව.මේ හින්ද අපරැක්කෙ හිමි නරක් උනේ පාර්ලිමේන්තුවට රිංගන්න ගිහින් කියන පුලාගෙ නිගමනේ එච්චරම ලොජිකල් නැහැ කියල පුලාටම තේරුනා.
(අපරැක්කේ හිමි කොහොම උනත් එල්ලාවල චක්‍රවර්තී උන්නාන්සෙ නං කාර් පර්මිට් විකුන්නෙ පාර්ලිමේන්තුවේ ගල් බාස්ලගෙ ආදර්සෙන් නරක් වෙලා කියල නිච්චියටම කිව්ව ඇහැකි)

මෑතකාලේ ලිංගික අතවර කේස් එකකට මාට්ටු වෙලා ප්‍රසිද්ධ උනේ අපරැක්කෙ අපෙ හාමුදුරුවො වුනාට පන්සල් ඇතුලෙ මේ වගේ තව දේවල් තව කොච්චර වෙනව ඇතිද?අහිංසක සාමනේර හාමුදුරුවරුන්ට මේව ගැන ගිහින් පොලිසිවලට කම්ප්ලේන් කොරන්න තරම් අයිතිවාසිකම් ගැන දන්න කියන සමාජයක් නෙමෙයි නෙව අපි.කොහොමත් මානව අයිතිවාසිකම් කියන්නෙ අපේ දෙයක් නෙමෙයි බටහිර දෙයක් කියල නෙව රටේ නායක කාරකාදී බුවාස්ලත් කියන්නෙ.කොහොම හරි පන්සල් අස්සෙ,පල්ලි ඇතුලෙ මේ වගේ විකෘති සීන් කෝන් මේ විදිහට හටගෙන තියෙන්නෙ ඇයි?

පුලස්තිට හිතෙන සරලම උත්තරේ තමයි පන්සල් වේවා,පල්ලි වේවා ඒව ඇතුලෙ ඉන්නෙ පුලස්ති,පුලස්තිගෙ ඉස්සරහ ගෙදර ර.ආමනඩුව මහත්තයා වගේ ලේ මස් ඇට මිනිස් ආසාවන් තියෙන සාමාන්‍ය මිනිස්සු.හැබැයි මහන වෙච්ච උත්තමයාස්ලායි පුලස්තිලයි අතර වෙනසක් තියෙනව.අපි ගත කරන ජීවිතේ ස්වභාවිකයි.හැගීමක් ආවොත් අපිට කැමති විදිහකට ඒක විදගන්න අපිට නිදහසක් තියෙනව.අතින් නං අතින්.ගෑනු අතකින් ඕනෙ කියල හිතෙනවනං ගෑනු අතකින්.ඕනෙනං බදින්න ඇහැකි.බදින්න ඉස්සෙල්ලා නං ෆිල්ම් හෝල් වලට,පාක් වල පදුරු ඇතුලට රිංගත ඇහැකි.බැන්දට පස්සෙ ඒත් ආසාව සෑහීමකට පත්වෙන්නෙම නැති නං අවසර කල් රහස් තැන - පිරිමි කවුරුද වරදෙ නොබැදෙන කියල රාහුල හාමුදුරුවො ලීව එක ටිකක් වෙනස් කරල තමන්ටම ආදේස කරගත්ත ඇහැකි.

ඒත් පූජක උත්තමයාස්ලට මේ නිදහස තියෙනවද?ඔන්න බඩ කොර වෙන පුරස්නය.ඇත්තම කියනව නං අද මහන වෙලා ඉන්න ගොඩක් හාමුදුරුවරුන්ගෙ අයිඩියල් එක නිවන් දකින්න භාවනා කොරන එක නෙමෙයි කියල හංගන්න අවස්‍ය නැහැ.එහෙම සිරාවට නිවන් දකින්නම ඉන්න හාමුදුරුවරු නැතිව නෙමෙයි.උන්නාන්සෙලට තියෙන්නෙ ක්ලේෂ මාරයා සමග කෙලිය මිස පාෂාන්ඩ පාෂාන කෙලිය නෙවෙයි.ඒත් එහෙම නොවන බහුතරයක් හාමුදුරුවරුන්ට,හැගීම් මැඩගෙන,ආසාවන් තෙරපගෙන,ලේ නහර වල කකියන ඕනෑකම් පාගගගෙන ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙනව.කතෝලික පල්ලියෙ පූජක උත්තමයාස්ලටත් මේ කාරනේ පොදුයි.ඒ ගත කොරන ජීවිතේ කෘතිම එකක් නෙවෙයිද?ඒක ස්වභාවික නැහැ නේද?ස්වභාවික ආසාවන් තියෙන මිනිහෙක්ට ස්වභාවික නොවන විදිහට ඒ ආසාවන් පාග‍ගෙන ජීවත් වෙන්න කියල නියම කොලාම සිද්ධ වෙන්නෙ මක්කෙයි?ඒ ආසාවන් විකෘති විදිහට එලියට පනිනව.

යුරේකා.ඔන්න පුලස්ති පුරස්නෙට උත්තරයක් හොයාගත්තා.ආගමික ප්‍රජාවන් ඇතුලෙ වල් විදිහෙ ගල් වැඩ වලට මෙහෙම තැනක් හම්බු වෙන්නෙ ආගමික සමාජ කියන එව්ව සොබාවයෙන්ම ස්වභාවධර්මයාට පටහැනි,කෘතිම විදිහට ගොඩනගාගත්ත පරිසර නිසා.

එහෙනම් ඔන්න විකල්ප දෙකක් තියෙනව.

එක්කො ආගමික ප්‍රජාවන් කියන එව්ව අහෝසි කොරල දාන්න වෙනව.තමුන්නෙ පොඩි එකා පන්සලක,පල්ලියක මහන කොරවලා ඌ ගල් බෝරයක ගොදුරක් වෙනව දකින් මොන අම්මද කැමති?මේ නිසා ආගමික ප්‍රජා කියන අතිසය කෘතිම ගැජමැටික් එක අයින් කොරන්න වෙනව.

ඒත් ඒක ප්‍රායෝගික උත්තරයක් නෙමෙයි නෙව.

ඒ හින්ද දෙවෙනි විකල්පෙ මේකයි.ආගමික ප්‍රජාවල උදවියට - උන්නාන්සෙලා කැමති නං පවුලක් පන්සලක් වෙන්න ඉඩ හදල දෙන්න වෙනව.ගොඩක් දෙනාගෙ අරමුන නිවන් දකින එකත් නොවන හින්ද,දේසපාලනය කොරන එක,ටියුසන් කරන එක,මන්තර ගුරුකම් කරන එක,දානෙට දෙන දෙයක් කාල බීල බනක් කියාගෙන පන්සලට වෙලා වැටිල ඉන්න එක - මේ වගේ සරල වැඩවලට හාමිනේ කෙනෙක් උදවුවට ඉන්න එක බාධාවක් නෙමෙයි නෙව.මහායාන රටවල ඒක වෙනව.ක්‍රිස්තියානි පූජකයොනුත් මේක කොරනව.එහෙම උනොත් පන්සල්,සෙමනේරි අදුරු අහුමුලු වල වෙන පාෂාන්ඩ පාෂාන ක්‍රියාත් අඩු ‍වේවි.අපරැක්කෙ හිමි වගෙ අහිංසක උත්තමයන්ට කාටවත් අපරාධයක් කොරන්නෙ නැතිව තමුන්නෙ ස්වභාවික ආසාවන් ඉටු කොරගන්නත් ඉඩක් ලැබේවි.