Wednesday, December 4, 2013

වයධම්මා වයධම්මා හුලා සහ සුධම්මා


පුලස්තිගේ සොදුර ‍සුරේඛා මේ දවස් වල තොරතෝංචියක් නැතිව කථා කොරන්නෙ සුධර්මා ගැන. ධර්මා කියන පදේ අර්ථය වැඩි කරන්න සු යන්නක් ඉස්සරහට දැම්මම හැදෙන වචනය - සුධර්මා. මේ දවස්වල සුරේඛා මේ කථා කරන්නෙ යුගයේ ජනප්‍රියම ආදර අන්දරය ගැන. කෙල්ල - සුධර්මා කොල්ලා - හුලා.

මල මගුලයි. කොල්ලගෙ නම හුලා.මගේ නම පුලා.

රෑට නිදාගන්න ගියාම සුරේඛා පුලාට ඇගිල්ලෙන් අනිනව.

" සුධර්මා හරි නරකයි නේද මෙයා?"

උදේ තේක ඇද ලගට ගෙනත් දෙන ගමන් සුරේඛා මූණ පුලුටු කරගන්නව.

" මොනව උනත් බැදපු ගෑනියෙක්නෙ. නේද මෙයා?"

කොමියුනිකේසන් එකේ වැඩට යන්න ලෑස්ති වෙද්දි පුලාගෙ වටේ දැවටි දැවටී සුරේඛා කන් කෙදිරි ගානව.

" හුලත් බැදපු මිනිහෙක්නෙ. නේද මෙයා?"

කොමියුනිකේසන් එකේ වැඩ කොරන අතර පුලාගෙ ජංගමේට සුරේඛා එස්එම්එස් එවනවා.

" ඔයා හිතනවද ගාමිණීට ඒ දුක උහුලගන්න පුලුවන් ඇති කියලා?" ( කවුද දන්නෙ සුරේඛා?)
" ගාමිණී පවු පුලා. සුධර්මයි ගාමිණීයි රණ්ඩු කොරද්දී හුලා ගෙදර ගාවට පොලිසියෙන් එවනවලු පුලා" ( සාමය කඩ උනොත් සුරේඛා? )
" ඔයා කවදාවත් හුලා වගේ රිලා වැඩ කරන් නැහැ නේද පුලා?" ( ඩෝන්ට් ඉවන් තින්කබවුට් ඉට් සුරේඛා )
" හුලාව රස්සාවෙන් අහක් කරලලු අන්න. හොද වැඩේ ඕකට ‍නේද?" ( ජේසු ජීවමානයි සුරේඛා )

දවස් දෙක තුනක් මේ කියැවිල්ල අහගෙන ඉදල ඉදල අන්තිමේදී පුලස්ති සුරේඛට මේ ගැන තමන්ගෙ ස්ථාවරය පැහැදිලි කළා. දැන් මේ සටහන ටයිප් කොරන්නෙ බ්ලොග් අවකාසයේ සහුර්ද සහුර්දියන් එක්ක මගේ ඒ ස්ථාවරය බෙදා හදා ගන්න.

හුලා - සුධර්මා පෙම් පලහිලවුව ගැන පුලස්ති ගෙඩිගේගේ ස්ථාවරය

එක - හුලයි සුධර්මයි ගාමිණීයි හුලාගෙ බිරින්දැයි කෑවද, බීවද, අහවල් එක කොලාද, ඒක කරද්දි රෙකෝඩ් කලාද, ඒකෙ හඩපටය සුන්දරද, වීඩියොත් කලාද, කලානම් ඒක කවුරු කවුරු හරි නෙට් එකට රිලීස් කරයිද, එතකොට විදුලි සංදේශ නියාමන කොමිෂම තව වැල සයිට් හතර පහක් තහනම් කරයිද? - මේ එකක්වත් පුලස්තිට අදාල නැහැ. ඒව ඒ උන්දැලාගෙ පුද්ගලික වැඩ කිඩ. ගොසිප් කාරයෝ ඇවිත් පුලාගේ පුද්ගලික ජීවිතේට එබිකම් කොරලා ඒවා දාල එක එකා එක්ක ආතල් ගන්නවට පුලා කැමති නැහැ. හුලා ඉන්නෙ රජ මැදුරක. පුලා ඉන්නෙ මුල්ගම්පොල කුලී ගේක. ඒ උනාට පුලාට වගේම හුලාටත් පුද්ගලිකත්වයට අයිතියක් තියෙනව නෙව.

දෙක - මේ හුටපට සේරම අස්සෙ හුලා අධිපතිකම කරපු ජාතික ආරක්සාව ගැන මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවලා දාල. රජය නිවේදනය කරල දැන් යුදමය තත්වෙ අහවර හින්ද ඒකෙන් ඇති වැඩක් නැහැ කියලා. මගුලයි. යුදමය තත්වෙ ඉවර වෙලා කියල රජයට තේරුනෙ දැන්ද? චීනෙන් ණය අරන් අධිවේගී මාර්ග තැනුවට ආණ්ඩුව හිතන් ඉන්නෙ අධිවේගෙ යන්ඩ සල්ලි නැතිව හීල්ලුවට අපි කොන්ඩෙ බැදපු චීන්නු කියලද?

තුන - නයනා කුමාරියි කුමාර වෙල්ගමයි තුරුලු වෙලා ඉන්න ෆො‍ටෝ එක ජනප්‍රිය උන වෙලාවෙ නයනා කුමාරිගෙ මිනිහගෙන් ඒ ගැන ඉන්ටර්විව් ගන්න වෑයම් නොකරපු දිවයින සුධර්මාගේ මනුස්සයාගෙන් විතරක් ඉන්ටර්විව් ගන්න පෙලඹුණේ මොන එහෙකට ද? හුලාට අදාල දිවයින ගවේසනාත්මක ජනමාධ්‍යවේදය වෙල්ගමට අදාල නැත්තේ මොකද? හුලා බුල කෙලින එක ගැන දිවයිනට මේ එක පාරට හැදුණු අමාරුව මොකක්ද? මේ හුලා ඉස්සර හොද හුලෙක්ද? ජාතිය වෙනුවෙන් දැවැන්ත සේවයක් කරපු ප්‍රකාසක හුලෙක් නේද? එහෙම තොපිම උඩ දාපු එකාට දැන් තොපිම පලු යන්න ගහන්නේ මොකද?

හතර - මේක තමයි කෲසල් පොයින්ට් එක.

හුලා ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධිපති. එතකොට හුලා සුධර්මා කැන්දන් යන්න ගාමිණීගේ ගෙදර ගාවට එද්දී ආරක්සක අංසෙ උන්දැලා ගාඩ් එක දාගෙන පිරිවර සමග එනව. හුලාට ලවු සීන් කොරන්න අවස්‍ය ආරක්සාව සපයනව. හුලාගෙ පෙම්වතී එක්ක පෙම්වතීගේ මනුස්සයා අඩ දබර කොරද්දි සමූහ වසයෙන් ගිහින් ගෙදර වටලනවා.

හමුදාව පොලිසිය තියෙන්නේ මොකට කියලද 10 වසර සමාජ අධ්‍යයනය පාඩමට ඉගැන්නුවේ සහුර්දයිනි? ජාතික ආරක්සාවට. මහජන ආරක්සාවට.

මිනිස්සුන්ගේ ලවු සීන් වලට ආරක්සාව සපයන එක හමුදාවෙ පොලිසියේ ඇස්ටීඇෆ් එකේ වැඩක්ද?

පුලා සුරේඛගෙ පස්සෙ යන කාලෙ සුරේඛගෙ අයියල දෙන්න ( එකෙක් දෙයියන්නෙවෙල ජයන්ත. අනෙකා දෙයියන්නෙවෙල ශාමින්ද. පපුව හයයි හයයි. උස හයයි දෙකයි. මහත දෙහෙත දැක්කම කකුල් වෙවුලන මැර පොරවල් ) මේ ඩබල පුලාගෙන් ගේම ඉල්ලන වංගියේ - පුලාගෙ ලවු සීන් එකට ආරක්සාව සපයන්න මුල්ගම්පොල පොලිසියෙන් ආවද?

රතුපස්වල මිනිස්සු බොන්න වතුර ඉල්ලලා උද්ගෝසනය කොරන කොට වෙඩි තියල තුන් දෙනෙක් බෑව්වෙ මේ හමුදාව / පොලොසිය. රතුපස්වල බුවාලා මහජනතාව නෙමෙයිද? මහජන ආරක්සාව නම් හමුදාවෙ ඩියුටිය මහජනයාට වෙඩි තියන්නෙ මොකටද? ජාතික ආරක්සාව නම් හමුදාවෙ ඩියුටිය ජාතියට අයිති මිනිස්සුන්ට වෙඩි තියන්නෙ මොන එකටද? රතුපස් වල බුවාල ශ්‍රී ලාංකිකයො නෙමෙයිද?

ධම්මික පෙරේරත් එක්ක රතුපස්වල නෝමල් ඩයල් හැපෙද්දි පොලිසිය/ හමුදාව ආරක්සා කරන්නෙ ධම්මික පෙරේරව.
නෝමල් ඩයල් එකක් වෙච්ච පුලා ලවු කොරන්න කට්ට කද්දි නොසපයන ආරක්සාව හුලා අන්තර් කුටුම්භ සංචරණයේ යෙදෙද්දී මදි නොකියන්න සැපයෙනව.

හුලාගෙයි පුලාගෙයි වෙනස මොකක්ද? හුලා ප්‍රභූවරයෙක්. පුලා නිකම්ම නිකම් මුල්ගම්පොල බයියෙක්.
ධම්මක පෙරේරගෙයි රතුපස්වල උන්දැලගෙයි වෙනස මොකක්ද? ධම්මික ප්‍රභූවරයෙක්. ධනවතෙක්. වෙඩි කාල මැරුණු උන්දැලා පුලා වගේම නිකම්ම නිකම් බයියො කීප දෙනෙක්.

ආරක්සා කොරන්නේ මහජනතාව කිවුවට පොලිසිය/ හමුදාව ඇත්තටම ආරක්සා කොරන්නෙ හුලා ධම්මික වගේ සුපිරි ගණයේ බුවාල ව නෙමෙයිද?
ආරක්සා කොරන්නේ ජාතිය කිවුවට පොලිසිය/ හමුදාව ඇත්තටම ආරක්සා‍ කොරන්නේ හුලා ධම්මික වගේ ප්‍රභූ ගණයේ බුවාලව නෙමෙයිද?

මහජනතාව කියන්නේ හුලාටද? ජාතිය කියන්නේ හුලාටද? මහජනතාවට පුලා අයිති නැද්ද? ජාතියට පුලා අයිති නැද්ද? හුලා වගේ සිලෙක්ටඩ් පිරිසක් මහජනතාව ඇන්ඩ් ජාතිය වෙන්නයි ඒ මහජනතාවටයි ජාතියටයි පුලා වගේ බුවාල ඇතුලු නොවෙන්නයි හේතුව මොකක්ද?

ඊයෙ රෑ අඩියක් ගහන වෙලාවෙ දත් අස්සෙ හිරවුණ හරක් මස් කෑල්ලක් ගන්න වෑයම් කරන අතරෙ පුලාගෙ අතිජාත මිත්‍ර රූබන් ගණිත කොටා මෙන්න මෙහෙම කිවුවා.

" ජාතිය මහජනතාව කියන්නේ පුලෝ හෙජමොනික සංකල්ප"

ලස්සන වචනයක් නේද?
හෙජමොනිය.

උංගෙ ආරස්සාවට ආයතන සෙට් එකක් හදාගෙන උං කියනව මේව අපි පවත්වං යන්නෙ මහජනතාවයි ජාතියයි රකින්න කියල. ඉතිං මහජනතාව වන පුලා වැනි බුවාලා 'කොච්චර ෂෝක්ද' කියල හිතල මේ ආයතන නඩත්තු කොරන්න බදු සල්ලි ගෙවනව. රතුපස්වලදී වගේ අරුංගෙ මොකක් හරි මගුලකට විරුද්ධ වෙච්ච ගමන් ඒ බදු සල්ලි වලින් ගත්ත උණ්ඩ වලින්ම බදු ගෙවුව උන්ටම වෙඩි තියල දානව. එහෙම වෙඩි තියන ඒව හරි ෂෝයි කියල කියන්න වෙඩි කන උන්ගෙම බදු සල්ලි වලින් ජාතික ආරස්සාව ගැන මාධ්‍ය මධ්‍යස්ථාන හදලා එක එක කුම්භාණ්ඩයොන්ට ඒකෙ ජොබ් දීල තියෙනව. මේ ආයතනවල ඉන්න මොළ හෝද ගත්ත මස්තබාල්දු බුවාලට අපි 'රාලහාමි' කියනව.' රණවිරුවො' කියනව. තමුන් වෙනුවෙන් හදාගත්ත මේ ආයතන වලට අපේ කැමැත්තත් අරගෙන ( අපිට කෙලින්න ඕනෙ උනාම අපිට ඒ ආයතනවලින්ම කෙලලත් දාල ) අරුන් දැහැමෙන් සෙමෙන් ප්‍රීතියෙන් සතුටින් වැජඹෙනව. බිස්නස් කරනවා. අන්තර් කුටුම්භ සංසරණයේ යෙදෙනව.

ලස්සන වචනය. හෙජමොනිය.

සුරේඛා , අපේ කොමියුනිකේසන් එක අපි හෙජමොනික කොමියුනිකේසන් කියල නම් කරමුද?



Sunday, July 28, 2013

දයාසිරිගේ පක්ෂ මාරුව සමග ඇති වන ඥානවිභාගමය ගැටලුව - පුලස්තිගේ පලමුවැනි තිසීසය


" අන්න දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා" පුලා පහුගිය දවසක ගෙට ගොඩවෙච්ච ඇසිල්ලේ සුරේඛා ඉස්සරහ‍ට දුවගෙන ඇවිත් කීවා. සුරේඛාගේ මූනෙ දුක වෑහෙනවා.

" ඉතින්?" පුලා ඇහුවා.

" කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් නේද? ආණ්ඩුවට බැනපු හැටියට රෙද්දක් ඇදගෙන යන්න පුලුවන් ද ඔහොම ආණ්ඩුවට?"

සුරේඛා පැවතගෙන එන්නෙ කැපුවත් කොළ පරම්පරාවකින්. ඒ හින්දයි මේ ඇස් දෙකේ කදුලු.

දයාසිරි ජයසේකර ආණ්ඩුවට සෙට් උන එක මාර නිවුස්සෙක පහුගිය දවස් කීපයෙම. ලේසියෙන් කදුලක් එන්නෙ නැති සුරේඛගෙ ඇහිනුත් කදුලු මේ සංගදිය හින්දම.

දයාසිරි මුඛරි කථිකයෙක්.
ගායකයෙක්.
සුපිරි තරුවක්.
විවාදකයෙක්.
ටීවි සංවාද වලට ඇවිදින් මහින්දගෙ ආණ්ඩුවට හොම්බෙන් යන්න දුන්නු සිරා කොල්ලෙක්.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොබියව කථාකල තරුන දේසපාලකයෙක්.

මේ දයාසිරිට තිබුන ප්‍රතිරූපය.

ඒත් ඇත්තටම දයාසිරි මේ කවුරුත් නෙමෙයි.දයාසිරි කියන්නෙ දයාසිරිමයි. බලයට කෑදර තවත් එක මිනිහෙක්. එච්චරයි.

පුරස්නෙ රනිල් පක්සෙන් කපන එක නම් හදාගන්න තිබුනෙ නැද්ද අලුත් පක්සයක්?
පුරස්නෙ රනිල් ඒකාධිපති එක නම් ඒකාධිපති කියල තමාම කියපු මහින්දගෙ රජයට එකතු වෙන එකෙන් ලැබේද විසදුමක්?
පුරස්නෙ රනිල් එක්ක පාෂාණ සෙල්ලම කරන්න ඔයා අකමැති එක ද?
පාෂාණ සෙල්ලමට අකමැතියි නම්, පක්සයක් හදාගන්නත් බැරි නම් යන්න ති‍බුණෙ නැද්ද ගෙදර? අයිය එක්ක එකතු වෙලා දාගන්න තිබුන් නැද්ද හොද සංගීත කණ්ඩායමක්? දයාසිරි ඇන්ඩ් කිත්සිරි - ලයිව් ඉන් කොන්සර්ට්. ඒ නම ගතියක් නැත්තං - සිරි ඇන්ඩ් සිරි ලයිව් ඉන් කොන්සර්ට්. සිරි බ්‍රදර්ස් - ලයිවු ඉන් කොන්සර්ට්. මම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්. කරන්න තිබුණෙ නැද්ද හොද සංගීත ප්‍රසංගයක්?

වයඹ මහ ඇමතිකම වගේද සංගීතය? නේද?
බලය වොඩ්කා නම් සංගීතය බියර්. වොඩ්කා වගේද බියර්? නේද?

" දැන් එතකොට සුරේඛට තේරෙනව නේද වාස්තවික යථ දැනුමට ගන්න බැහැ කියල?"

" මොකක්?" සුරේඛා ඇහුවා.

" දයාසිරි කියන්නෙ යථ. ඒක දැනුමට ගන්න හදනකොට අපි යථාර්ථයන් නිර්මාණය කරගන්නවා. දයාසිරි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න සිරා කොල්ලෙක් කියන්නෙ ඒ වගේ යථාර්තයක්. දයාසිරි ආණ්ඩුවට විරුද්ධ ප්‍රතිපත්තිගරුක චරිතයක් කියන්නේ ඒ වගේ යථාර්ථයක්. යථාර්ථය කියන්නෙ යථ දැනුමට ගේන්න දරන උත්සාහය"

" තමුසෙ අද බීලද?" සුරේඛා ගද බලන්න පුලාගේ මුවට මුව ලංකලා.

මං වහාම ඇයව මගේ පැත්තට ඇදගෙන සුරේඛාගේ මුව සිප ගත්තා.

" සුරේඛා, ඔයා ලස්සනයි කියන්නෙ මම හදාගත්ත යථාර්ථයක්. ඔයා ලස්සනත් නෑ කැතත් නෑ මුකුත් නෑ. ඔයාව දැනුමට ගේනකොට මම හදාගන්නව ඔයා ලස්සනයි කියල යථාර්ථයක්. මහින්ද දේසප්‍රේමීයි කියන්නෙත් එහෙම එකක්. විමල් රටට ආදරෙයි කියන්නෙත් එහෙම එකක්. විග්නේස්වරන් දෙමළ ජාතියට ආදරෙයි කියන්නෙත් එහෙම එකක්. ඥානසාර බුද්ධාගමට ආදරෙයි කියන්නෙත් එහෙම එකක්. අපි හදාගත්ත යථාර්ථ. සැබෑවෙදි මේ එකක්වත් එහෙම නෑ. මහින්ද දේසප්‍රේමිත් නෑ. නැත්තෙත් නෑ. හිස්. විමල් රටට ආදරෙත් නෑ. විග්නේස්වරන් දෙමළ ජාතියට ආදරෙත් නෑ. ඥානසාර බුද්ධාගමට ආදරෙත් නෑ. ආදරේ නැත්තෙත් නෑ. මුකුත් නෑ. වර්ණයක් නැති යථ අපි වර්ණවත් යථාර්ථයකට පෙරල ගන්නව. මහින්ද කියන්නෙ මහින්ද. විග්නේස්වරන් කියන්නෙ විග්නේස්වරන්. ඥානසාර කියන්නේ ඥානසාර. මූනක් ඔලුවක් හොම්බක් පුරුෂ නිමිත්තක් තියෙන මාංශමය ශරීර. මේ කවුරුත් තුල සාරයක් නෑ. ඒ අයගේ සාරය හදන්නෙ අපි"

" එතකොට මම?" සුරේඛා ඇහුවා.

" ලෝකයේ සාරයක් තියෙන එකම සාරය මධ්‍යසාරය" මම කීවා.

" පුලා ඔයා හරිම නෝටි" සුරේඛා කීවා.

" සුරේඛා මම නෝටි නෑ. නෝටි කියල කියන්නෙ ඔයා මාව දැනුමට ගන්න උත්සාහ කරද්දී හදාගන්න යථාර්ථයට. ඒ හින්ද ඒක සැබෑව කියල ගන්න එපා. දයාසිරි පැන්න එකත් එහෙමයි. සැබෑ දයාසිරියි ඔයා දන්න දයාසිරියි කියන්නෙ දෙන්නෙක්. කුමටද සොබනියෙ ඒ නිසා කදුලු සලන්නේ? ගිහින් ඒ නිසා හරක් මස් ටිකක් ලෑස්ති කරන්න අද රෑට. හවසට සෙට් වෙන්ඩ ගණිත කොටා එනව කිව්ව"

" අදත් බීමක්ද?" සුරේඛා ඇහුවා.

" ඔවු " පුලස්ති වන මම කීවා." දයාසිරි ආණ්ඩුවට ආපු එක සමරනව. කුණු ගොඩකට තවත් කුණු මල්ලක් එකතු විය. එක් කුණු කන්දක උස සෙන්ටිමීටරයකින් අඩු වෙද්දී අනිත් කුණු කන්දේ උස තවත් සෙන්ටි මීටරයකින් වැඩි විය"



Saturday, April 13, 2013

තමිල්නාඩුවෙත් විගඩම් - නිදහස් චතුරස්‍රයෙත් විගඩම්



තමිල්නාඩුවේ නලු නිළි කැල එක් දිනක මහා උපවාසයක් කලා. හේතුව - ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ලු.

හැරෙන තැපෑලෙන් මෙන්න එනවා රිටර්න් එක කොළඹින්.

කමල් හසන්ට එරෙහිව රවින්ද්‍ර රන්දෙණිය.
රජිනි කාන්ත්ට එරෙහිව ශ්‍රියන්ත මෙන්ඩිස් .
විජේට එරෙහිව  මාලනී ෆොන්සේකා.

ලංකාවේ නලු නිලි කැල රට වෙනුවෙන් උපවාසෙක !

ස්ටාර් වෝර්ස් - ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රොඩක්සන් එක දැන් දකුණු ආසියාවේදී !

ආරක්සක අමාත්‍යංසයෙ  වෙබ් අඩවිය වාර්තා කොරන විදිහට ලංකාවේ නලු නිළි කැල එක්කාසු වෙලා අධිස්ටාන පූජාවක් කොරල දෙවියන්ගෙන් යැද්දාලු - විදේස බලවේග වල කුමන්ත්‍රණ වලින් රට රැකදෙන්ට කියල. අයි.ටී.එන් වෙබ් අඩවිය කියන විදිහට සිරි ලංකාවට ඇවිල්ල තමිල්නාඩුවේ නලු නිලියන්ට සැබෑ තත්වය මොකක්ද කියා දැක බලාගන්න කියල ආරාධ‍නා කොරන එකලු එතුමන්ලා එතුමියන්ලාගේ අධිෂ්ඨාන පූජාවේ අරමුණ.

පූජාවේ නම - එන්න සත්‍යය දකින්න.

මේ පූජාවේ පුලස්තිගේ වඩාත්ම සිත්ගත් ඡායාරූප කීපයක් පහත පල කෙරේ.



විචාරය - මෙය සෞන්දර්යාත්මක ඡායාරූපයකි . ගීතා කුමාරසිංහ මැඩම් තදින් ඇස් දෙක වහගෙන. රට දැය සමය ගැන තියෙන කැක්කුම මූන පුරා ගලා යන හැටි මොන තරම් සුන්දරයිද?


මෙය ඊටත් වඩා සෞන්දර්යාත්මක ඡායාරූපයකි. සියත ටීවී එක ගිනිගත්තා වගේ හදියක් මගේ රටට නං වෙන්න එපා කියල සංගීතා නෝනා සත්‍යග්‍රහයේ.


ගීතා මැඩම් ජනමාධ්‍යයට - "බුදු අම්මේ මගෙ ජාතිය අනතුරේ හින්ද  මේ දවස්වල නින්ද යන්නෙත් නෑ අනේ"


After party - ප්‍රියසාද් ගෙ දැරිවියො තුන්දෙනා රට වෙනුවෙන් යුතුකම ඉටු කරල ඉවර කරල පින්තූරයකට පෝස් කරනව.සෝ ස්වීට් !

හොදයි. දැන් මේ නලු නිලියො සේරම තමිල්නාඩු බුවාස්ලට කියන්නෙ ලංකාවට ඇවිත් සත්‍යය දකින්න කියල. රවීන්ද්‍ර රන්දෙණිය උන්නැහේ කියල තිබුණු විදිහට බොරු ප්‍රචාර වලින් තමිල්නාඩු නලු නිලියො නොමග ගිහින්ලු.

මොකක්ද බොලේ මෙච්චර මේ වීසා අරගෙන ඇවිත් දකින්ඩ කියන සත්‍යය?

1. අපේ නලු නිළි කැල අධිස්ටාන පූජාව තියල දවස් දෙකක් ගියෙ නැහැ.යාපනේ දී උදයන් පත්තර කන්තෝරුව ගිනිබත් කලා. ඒක ගිනිබත් කොරල පැය විසිහතරක් යන්ඩ ඉස්සර පරීක්සනයක් වත් නොතියා ආණ්ඩුව කියාපි " උදයන් ගිනිතබා ගත්තේ උදයන් විසින් මයි" කියල.


මේ උදයන් කන්තොරුවේ මුද්‍රණ යන්ත්‍ර ගිනි තියල තිබුණු ආකාරය. නිදහස් චතුරස්‍රයේ තිබුණ ගාම්භීරකම මෙතැන නෑ වගේ නේද?

2. අපේ නලු නිළි කැල උපවාස කොරන්න ටික දොහකට කලින් කොලොන්නාවේ මීතොටමුල්ලේ ජනතාවත් උපවාසයක් කොලා. ඒ අයට පීඩා කරන කුණු කන්ද ඉවත් කොරන්න කියලයි උපවාසය . පොලිසිය ඇවිල්ල නිර්දය විදිහට ඒ උපවාසය කල මිනිස්සුන්ට ගසල බසල ඒ ජනතාව එතැනින් ඉවත් කලා.


මේ පොලිස් ලොක්කො ඒ උපවාසයට වාඩි වූ කාන්තාවක් සිරගෙට ඇදන් යන දර්සනය. ගීතා මැඩම් ගේ නාරි ලාලිත්‍යය මී‍තොටමුල්ල මේ සහෝදරියගේ සිරුරේ නැහැ නේද?

සුකුමාර නලු නිළියනි, ලිප්ස්ටික් උලාගෙන ෆේෂල් ගාගෙන මාධ්‍යයට පේන්න සැප උපවාස කරන මහත්ම මහත්මියෙනි, මෙන්න බොලවු ඇත්ත! මෙන්න බොලවු සත්‍යය! ‍

යාපනයේ දී අර ගිනි ගෙන දැවෙන්නේ සත්‍යය නොවේ නම් වෙන මොකක්ද?
මීතොටමුල්ලේ දී අර පොලිසිය විසින් කුදලාගෙන යන්නේ සත්‍යය නොවේ නම් වෙන මොකක්ද?

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්සනය කොරපු ගරිල්ලා මාකටිං චිත්‍රපටියෙ ජවනිකාවක කමල් අද්දරආරච්චිට ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහෙම කියනව.

" උඹල මල් වඩම් දීල පාවඩ එලල මගුල් බෙර ගහල වඩම්මපු දෙයියා යක්ෂයෙක් කියල දැන්වත් තේරෙනවද?"

( හත්වලාමයි! ජයන්ත,කමල්,ශ්‍රියන්ත ට්‍රිබලම මේ අදිස්ටාන පූජා ෆිල්ම් එකෙත් ඉන්නවා)

උතුර ද දකුණ ද කියල වෙනසක් නැහැ ආයුබොවන්ඩ. රෙජිමය මේ වෙන කොට සමාජෙට ඉහලින් නැගී සිටින , මිනිස් නිදහසට කෙල ගහන යක්ෂයෙක් බවට පත්වෙලා හමාරයි.

දෙමලුන්ට එරෙහිව මර්දනය!

ආණ්ඩුව පුරස්න කරන, සිංහලයින්ට එරෙහිව මර්දනය!

තමුන්ගෙ පුරස්න වලට විරුද්ධව හටන් ‍කොරන්න පෙළඹෙන - කටුනායක, හලාවත, මීතොටමුල්ල හැම අස්සක මුල්ලක හැම වර්ගයකම මිනිස්සුන්ට එරෙහිව මර්දනය!මර්දනය! මර්දනය!

මේ නලු නිලි උත්තම උත්තමාවියොන්ගෙ ආරාදනෙන් තමිල්නාඩුවේ එවුන් ලංකාවට ආවොත් උන්ට දකින්න තියෙන " සත්‍යය" මේ මර්දනය, මේ මිලේච්ඡකම, මේ නීතියක් නැති කම, මේ පාදඩ කම මිස වෙන මොකක්ද?

මහත්වරුනි,

රට වෙනුවෙන් ව්‍යාජ මූනක් මවාගෙන වොයිස් කට් දෙන ගීතා මැඩම්ගේ පින්තූරයයි කුණු වලට විරුද්දව උපවාස කොරලා පොලිසියෙන් ගුටි කන මීතොටමුල්ල අර සහෝදරියගේ පින්තූරයයි අරගම්මු .



ව්‍යාජත්වයෙයි නිර්ව්‍යජත්වයෙයි වෙනස නේද මේ?
ආත්මය පාවා දීමෙයි  හැබෑ පුරස්න වලට විරුද්ධව සටන් කිරීමෙයි වෙනස නේද මේ?

නම නොදන්නා සොයුරිය, මම ඔබේ කටු සහිත අත සිඹිමි.


[[ ප.ලි - තමිල්නාඩුවෙ සෙට් එකටත් කියන්න තියෙන්නෙ මේකම තමයි. මේ රටේ දෙමළ මිනිස්සු දහස් ගණනින් මරා දැමෙන කොට නොතිබුණ " ආදරයක් " එක පාරට ටීවී කැමරා ඉස්සරහ පෙන්නන කොට, ඔහෙලගෙ රටේ දුප්පත්කමින්, කෝටියක් පුරස්න වලින් මිරිකෙන සහෝදර දෙමළ මිනිස්සු ගැන නැති " ආදරයක්" එක පාරට මේ රටේ දෙමළ මිනිස්සු වෙනුවෙන් මීඩියා ඉස්සරහ පෙන්නන කොට, ඒක හරි ව්‍යාජයි හලෝ! තමිල්නාඩුවෙත් මුල්ගම්පොලක් තිබුණ නම් මේ වගේ සටහනක් දෙමළෙන් ලියල දාන්න පුලස්ති කෙනෙක් ඒකෙන් හොයා ගන්ඩ තිබුණා ]] 








Thursday, April 11, 2013

මහාචාර්ය ගම්ලත්ට එරෙහිව රා බීපු හරකෙක්



හාචාර්ය සුචරිත ගම්ලත් මලා. කණගාටුව. හැබැයි මේ පෝස්ටුව ඒ මරණය ගැන නං නෙමෙයි.

ඇනකොන්ඩා කියල බ්ලොග් එකක් කරගෙන යන මිත්‍රයෙක් ගම්ලත්ව පතුරු ගහලා පල කොරල තිබුන ලිපියක්. ගම්ලත් සිවුරු ඇරිය එකයි,ටැමිල්නෙට් එක ඔහුට ගුණ කියපු හැටියි,ගම්ලත් බීපු හැටියි,රීපු හැටියි සේරම අනපු කැලෑ පත්තරයක්.

මේ පෝස්ටුව හැබැයි ඒ කැලෑ පත්තරය ගැනත් නෙමෙයි.

එහෙනම්?

මේ පෝස්ටුව ඒ කැලෑ පේපර් එක යටින් පලවෙලා තිබුණු කොමෙන්ටුවක් ගැන. කොමෙන්ටුව ලියල තියෙන්නෙ මාරයාගේ හෝරාව ලියන අපේ බ්ලොග් මිත්‍රයා.

මෙන්න මේකයි කොමෙන්ටුව.

" .. දැනටනං ගම්ලත් උන්නැහේ ගජමුතු ඇතෙක් කොරලා හමාරයි අපේ කට්ටියක්... තව ටික දවසක් යද්දී ඔය ඇනකොන්ඩා කිව්ව ටිකත් වෙයි. හැබැයි අය කාව හරි කරේ තියං දුවන්නේ ඒකෙන් තමුන්ගේ වාසියට මොනවම හරි තියෙනකල් විතරයි.

ඔය පහු ගිය කාලේ කරේ තියං ගියේ හිටපු හමුදාපතිවරයාව..හිටපු අග්‍ර විනිශ්චකාරවරියව.. තාත්තා මැරුනු දුවෙක්ව...
හැබැයි මේ පාර අහු වෙලා තියෙන්නේ මල මිනියක්...

මට බය වෙන එකක් ගැන නෙවෙයි. කවදා හරි දවසක අර කොටි ජයලතුයි වික්‍රම බාහුයි මල දවසට ඕකුන් දෙන්නවත් මුංදලා ඇත්තු නෙවෙයි මැමත්ලා ඩයිනසෝර්ලා කොරයි කියලා...

මම ගම්ලත් ගැන මහ විසාගෙට දන්නේ නැහැ.. ඒත් ඔය මනුස්සයා පත්තරවල ලිපි හරහා කරපු දේවල් ටිකට අමතරව ඇන කොන්ඩා කියාපු බෞද්ධ හිමිවරුන් විසින් ලියාපු පොත පත සුළු වෙනස්කම් වලින් තමන්ගේ කරලා බල කරවපු බවනං හරියටම දන්නවා. ඒ එහෙම පොත් කිහිපයක් කියවලා ඒකක කරුණු වගයක් ගැන වැඩි විස්තරයක් දැනගන්න ප්‍රාෙද්ශීය සාසනාරක්ෂක බල මණ්ඩලයක ලේඛකාධිකාරී පණ්ඩිත හාමුදුරුනමක් හම්බ උන වෙලාවක... උන්නාන්සේ මගේ අතේ තිබුන පොත් දෙක දිහා බලලා කට කොනකින් හිනාවෙලා පන්සලේ පුස්තකාලෙට ගිහින් ඒ පොත්වල මුල් කතුවර හිමිවරුන්ගේ පැරණි පොත් ගෙනල්ලා පෙන්නලා අදාල කරුණු විස්තර කලාමයි....."


මේ මිත්‍රයා ලියපු ඒව ඇසුරින් පුලස්ති කැමතියි නිරීක්සන කීපයක් ව්‍යුත්පන්න කොරන්න.

1. මොහු ගම්ලත් ගැන මහ "විසාගෙට" දන්නෙ නැහැ. 2. මොහු ඒ මනුස්සයා ( ගම්ලත් ) පත්තර වලට ලියපු ලිපි හරහා කරපු දේවල් ගැන දන්නවාලු. ( හරි කැත දෙයක් ගම්ලත් පත්තර ලිපි හරහා කලා කියලයි ඒක කියවද්දී හිතෙන්නේ) 3. " අපේ කට්ටිය" හමුදාපතිව/ සිරානි බන්ඩාරනායකව " ඇතා" කරගත්තා වගේ ගම්ලත්ගේ මල මිනිය කරේ තියං යනවලු. ( කවුද මේ "අපේ කට්ටිය" කියල මාරයා කියන්නෙ නැහැ. හැබැයි ෆොනීවයි බනීවයි කරේ තියාගත්තේ විපක්සය නිසා ඔහු අදහස් කරන්නෙ විපක්සය කියල අපිට අනුමාන කොරන්න පුලුවනි)

දැන් අපි අහමු - ගම්ලත් කියන්නෙ කවුද?

සුචරිත ගම්ලත් ලීව පොත් කිහිපයක නම් මට මෙතැන ලියන්න අවසර. ලැයිස්තුව අති දීර්ඝයි. තෝරාගත් පොත් කීපයක් පමණක් ලියන්නම්.

සාහිත්‍ය කලා න්‍යාය

ශෝකයත් රසයක්ද?
බොල්ශෙවික්වාදය සහ සාහිත්‍ය කලා
කලාව හා විඥානවාදය
ඓතිහාසික භෞතිකවාදය හා කලාව
සෞන්දර්ය විද්‍යා ඉතිහාසය
කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය
රසවාද විවරණය
සාහිත්‍ය න්‍යාය - ඇතැම් ප්‍රශ්න
Indian aesthetics dramatic emotions

පරිවර්තන

මහාභාරතය
නාට්‍ය ශාස්ත්‍රයේ රසවාදය
සිංගප්පූරු දරැවා
ලියොන් ට්‍රොට්ස්කි හා සාහිත්‍ය කලා
ලුඩ්විග් ෆොයාබාක් හා සම්භාව්‍ය ජර්මන් දර්ශනවාදයේ අවසානය
දාස්දල සුගන්ධය හා වෙනත් ජාත්‍යන්තර කෙටිකථා
මහා පරිනිර්වාණ සූත්‍රය
ස්ව්‍යාෂ්ක් වීර වෘත්තාන්තය
ශ්‍රී ජයදේවයන්ගේ ගීතගෝවින්දය
අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය

නාට්‍ය කලාව

ශකුන්තලා නාට්‍ය සේවනය
බටහිර නාට්‍ය හා රංග කලාව
නාට්‍ය ප්‍රවේශය
මනමේ නාට්‍ය සේවනය

සාහිත්‍ය විචාර

ගුත්තිල විනිස
උම්මග්ග ජාතක ප්‍රවෙශය
සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකටරූප
මේ මියුරු පදැති සැලලිහිණිය
වාද ප්‍රතිවාද
විචාර ප්‍රතිවිචාර
මහගම සේකර හා සමාජ යථාර්තය
සම්භාව්‍ය සිංහල කාව්‍යයේ විකාශනය

ලැයිස්තුව එතැනින් නතර කරනවා. මාරයා මේ පොත් වලින් කීයක් කියවලා තියෙනවද කියල පුලස්ති දන්නෙ නැහැ.

ගම්ලත් ගේ පොත් කියවපු කෙනෙක් මේ පාඨකයින් අතර ඉන්නවා නම් උන්නැහෙලා සාක්ෂි දරාවි මොන තරම් රසවත්, මොන තරම් ස්වාධීන භාසාවකින් උන්නැහේ සමහර ගැඹුරු සංකීර්ණ දේවල් පවා විස්තර කරනවාද කියලා. පුලස්ති දන්න තරමින් උන්නැහේ භාෂා හතරක පහක විතර ප්‍රවීණත්වයක් තිබුණු පුද්ගලයෙක්. ඔහු ඉවර කරපු සිංහල - ඉංගිරිසි සබ්ද කෝසය අති විශිෂ්ට නිමැවුමක් කියලා පුලස්ති අහල තියෙනවා. කලා විචාර ක්ෂේත්‍රයේ දී ගම්ලත් අලුත් විචාර න්‍යායක් හදුන්වලා දෙන්න හැත්තෑ අසූ ගණන් වල මූලික වෙලා ක්‍රියා කොලා.

දැන් මේ මනුස්සයා ගැන "විචාරයක්" ලියන මාරයා උන්නැහේ කවුද? උන්නැහේ කවුරු උනත් උන්නැහේගේ විචාරය දැක්කම පුලස්තිට තේරුන එක තමයි එතුමාගේ ලෝකය කොයි තරම් පුංචිද කියන එක. ඒ පුංචි ලෝකයේ ඉන්නෙ මහින්දයි, ෆොන්සේකයි, අගවිනිසුරුවරියයි, කොටියි ඔය ජාතියේ බඩු ටිකක් විතරයි.

සිත් ගන්නා සුලු කාරණේ එතුමාගේ ලෝකය පුංචි වෙන එක නෙමෙයි. තමුන්ගේ අගුටුමිටි ලෝකයේ අගුටුමිටි ආම්පන්න වලින් ගම්ලත් වගේ මනුස්සයෙක්ව මැනල ඒ ගැන ජජ්මන්ට්ස් පාස් කොරන එක.

මේ ඉන්ටර්නෙට් යුගය මොන තරම් අපූරුද? මෙලෝ අනන්‍යතාවයක් නැතිව අනන්‍යතා අර්බුද වලින් බැට කන රිලා පැටවුන්ට මේ ඉන්ටර්නෙට් අවකාසය ඇතුලෙ දේශපාලන විචාරකයෝ / සාහිත්‍ය විචාරකයෝ වෙන්න අවස්ථාව ලැබිල තියෙනව. ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියන්නා වාලේ විචාර ලියනව. තමුන් හැමෝටම වඩා දන්නවාය කියා හිතනවා. ඉස්සර කාලෙ යම් විසයක් ගැන ලියන්න නම් ඒ විසය ගැන කියවල හොයල බලල තියෙන්න ඕනෙ කියල එකක් තිබුණා. ඒත් මේ යුගේ - පස්චාත් නූතන යුගේ කියලලු මේකට කියන්නෙ - ඒ මක්කවත් නෑ. වැලක් බලල ඇදේ බඩු හලාගන්න එකට එහා දෙයක් නොදන්න ගොං බයියන්ටත් මේ යුගයේ ගම්ලත්ව විචාරය කරන සිරා විචාරකයින් බවට පත්වෙන්න අවස්ථාව හම්බෙලා තියෙනව.

කොච්චර අපූරුද නේද මහත්වරුනි? ඒකනෙ මේ පුලස්තිත් බ්ලොග්කාරයෙක් වෙලා තියෙන්නෙ!

හැබැයි ගම්ලත් මැරුණට පස්සෙ එක එක කැලෑ පත්තර ලිය ලිය ඔහු පණ්ඩිත හාමුදුරුවරුන්ගෙන් පොත් කොපි කලා ( ඒත් ඒ පොතේ නම මට මතක නැහැ) කියල කියන කොන්ද පන නැති පැන්න පොටවුන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි - ගම්ලත් ගජමුතු ඇතෙක් නෙමෙයි. හැබැයි ඒ මනුස්සයා දේසපාලන පරමාදර්ස තිබුණ, ජීවිතයේ අන්තිම මොහොත වෙන තුරු ඒ පරමාදර්ස පාවලා නොදුන්න ගැඹුරු හැදෑරීමක් කියවීමක් තිබුන, මුලු පරම්පරාවකට මග පෙන්නුම් කරපු මිනිහෙක්. ‍මේ රටේ සාහිත්‍ය විචාර කලාවෙ එක යුගයක්. මහින්ද රාජපක්සගෙ අධෝමුඛේ හිලෙන් ලෝකය දැක දැක ඉන්නෙ නැතිව එලියට බැහැල බලපං. අහස අපමණ උසයි. ලෝකය බොහොම විසාලයි.